අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 14,022ක්

ජන 30, 2020

    අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 14,022ක් ඉදිකිරීමේ ගමට ගෙයක් - රටට හෙටක් වැඩසටහන පෙබරවාරී පළමුවැනිදා ආරම්භ කෙරේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, කුරුණෑගල හිරිබාව ප්‍රදේශයේදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එලදායී පුරවැසියෙක් හා සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම සඳහා සෑම පවුලකටම සුව පහසු ස්ථිර නිවසක් ලබාදීම සහතික කර තිබේ.

    එම අරමුණ වෙත ළඟාවීමේ පළමු පියවර ලෙසයි ගමට ගෙයක් - රටට හෙටක් නිවාස ව්‍යාපෘතිය නියෝජනය කරමින් තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී පවුලක් සඳහා එක් නිවසක් බැගින් ඉදිකෙරෙන අතර, එම නිවාස ඉදිකිරීම දින 60ක් තුළ අවසන් කිරීමට නියමිතයි. මේ සඳහා නිවාස අමාත්‍යාංශය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 8,413ක්. මෙහි ප්‍රතිලාභීන් තෝරා ගැනීම ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හා ග්‍රාමීය ප්‍රජාවගෙන් සමන්විත කමිටුවකින් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. අඩු ආදායම්ලාභී කාන්තා මූලික, ආබාධිත හා දිගු කාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගෙන් සමන්විත පවුල් සඳහා නිවාස ලබාදීමට වැඩි අවධානයක් යොමුකර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 ජනවාරි 2020 11:24

    Latest News