“කොරෝනා“ ආසාදනය වූ කිසිවෙකු මෙරට නැහැ

ජන 27, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සැක සහිතව අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කෙරුණු සිව් දෙනාට කොරෝනා රෝගය වැළඳී නැති බව, වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

    රෝගය වැළඳී ඇති බවට සැක සහිත තවත් කිහිප දෙනෙකු ද පරීක්ෂණ සඳහා අද මෙම රෝහලට ඇතුලත් කෙරිණ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය පිළිබඳ හෙළිකර සති 3ක් ඇතුළත ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් වූ බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

    කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 81ක්. 2,827 දෙනෙකු රෝගීන් බවට තහවුරු වී තිබේ. එමෙන්ම 5,794 දෙනෙකු රෝගයට ගොදුවූවන් ලෙස සැකකොට ප්‍රතිකාර කෙරේ. 461 දෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තාවේ. මේ අතර රෝගය වැළදී සුවවූවන් 51 දෙනෙකු සිටින බව චීන බලධාරීන් පවසයි. රෝගය වැළඳුණු අය 44 දෙනෙකු චීනයෙන් බැහැර වෙනත් රටවල සිටින බව තහවුරු වී තිබේ. රෝගීන් 08 දෙනෙකු තායිලන්තයේ ද, අමෙරිකා එක්සත් ජනපදයේ හා ඔස්ට්‍රේලියාවේ පස් දෙනා බැගින් ද සිංගප්පූරුව, තායිවානය, මැලේසියාව හා දකුණු කොරියාව යන රටවල සිව් දෙනා බැගින් ද ප්‍රංශය හා ජපානය යන රටවල තිදෙනා බැගින් ද වියට්නාමයේ දෙදෙනෙක් ද නේපාලය හා කැනඩාවේ එක් අයෙකු ද ප්‍රතිකාර ලබයි.

    කොරෝනා වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙකුට රෝග ලක්‍ෂණ මතුවීමට දින 2ත්, 14ත් අතර කාලයක් ගතවිය හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා රටවල් රැසක ගුවන් තොටුපොළ විශේෂ ස්කැනර් පද්ධති සවිකර තිබේ. චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ද වෙනම මගී පර්යන්තයක් ක්‍රියාත්මකයි. කොරෝනා රෝගීන් හඳුනා ගැනීම සඳහා තර්මෝ ස්කෑනර් යන්ත්‍ර 04ක් ද කටුනායක ගුවන් තොටුපොළේ පිහිටුවා තිබේ.

    කොරෝනා වෛරසය පිළිබඳව අනියත බියෙන් මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. කොරෝනා රෝගය රුධිර සාම්පල පරීක්‍ෂාවකින් තහවුරු කර ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය වෛද්‍ය පර්යේෂණ ආයතනය සතු බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    Latest News