“කොරෝනා“ ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

ජන 26, 2020

    මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.

    වෛරසය ව්‍යාප්තවීම ඉතා වේගවත් වී ඇති බව හා ඉන් චීනය දරුණු තත්වයකට පත්වී ඇති බව ජනාධිපතිෂි-ජින්-පින් අනතුරු අඟවයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, මේ පිළිබඳව එරට බලධාරීන් කැදවූ හදිසි හමුවකට සහභාගි වෙමින්. අද වනවිට වූහාන් පළාත ඇතුළු චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 2,000කට ආසන්න වෙයි. නවතම තොරතුරු අනුව මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ තවත් රටක් ලෙස කැනඩාව හඳුනාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි. ඒ ඊයේ දිනයේ වෛරසය ආසාදිතවූවෙක් කැනඩාවෙන් සොයා ගැනීමත් සමඟයි. ඊට අමතරව වෛරසය හේතුවෙන් හොංකොං රාජ්‍යයේ ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. දැනට වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල් ලෙස වාර්තා වන්නේ ප්‍රංශය, දකුණු කොරියාව, සිංගප්පුරුව, ඔස්ට්‍රේලියාව, අමෙරිකාවේ ෆ්‍රැන්ස් නම් වන ප්‍රදේශය, පකිස්තානය, නේපාලය, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය, තායිවානය, නේපාලය, සහ හොංකොං රාජ්‍යයයි. මේ අතර කොරෝනා වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ සහ වෛරසය ව්‍යාප්ත වූ තවත් පළාත් කිහිපයක කඩසාප්පු, පාසල්, දුම්රිය මාර්ග, ආයතන අද සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

    Korona px 900 26 01 20

    විශේෂයෙන් පෞද්ගලික වාහනවලට එම නගරවලට ඇතුලුවීම අද සිට මුළුමනින්ම තහනම් කර ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චීනයේ වෛරසය ව්‍යාප්ත වූ පළාත්වලට විශේෂ හමුදා වෛද්‍ය බලකායක් යෙදවීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ. කොරෝනා ආසාදිතයින් සඳහාම වෙන් කෙරෙන නව රෝහලේ ඉදිකිරීම් වේගවත් කර ඇති බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කොරොනා වෛරසය සත්වයෙකුගේ ආශ්‍රයෙන් ජනතාවට බෝවී ඇතැයි මේ සම්බන්ධ පර්යේෂකයින් සැක පළ කරයි. එහෙත් එය මැඩපැවැත්වීම සඳහා මෙතෙක් නිශ්චිත එන්නතක් හෝ ඖෂධයක් සොයාගෙන නැහැ. මේ සමඟම චීනයේ නව අවුරුදු උදාව සඳහා සංවිධාන කළ සැමරුම් උත්සව රැසක් ද අවලංගු කර ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. මේ අනුව චීනයේ කොරෝනා වෛරසය පාලනය සඳහා ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ක්‍රියාත්මකයි.

    Latest News