පළමු අදියරේ සිසුන් 150 ක් පැය 48 ඇතුළත දිවයිනට

ජන 26, 2020

    කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දි තිබේ.

    මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

    වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර තිබේ.

    තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත.

    සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනිමට පියවර ගෙන තිබේ.

    ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇතැයි ද විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

    නැන්ජින්හි සිටින තවත් සිසුන් 30 දනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී තිබේ.

    ඔවුන් ද කඩිනමින් ගෙන්වා ගනු ලැබේ.

    චීනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ මහතා පවසයි.

    තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය We chat භාවිතයෙන් සිදු කෙරේ.

    චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

     

    china korona 2 900px 20 01

    යම් අයෙකු උණ රෝග තත්ත්වයෙන් පෙළෙන බවට හඳුනාගනු ලැබුවහොත් ඔවුන් අයිඩීඑච් රෝහලට යොමු කෙරේ.

    එවැනි අයගේ රුධිර සහ මූත්‍රා සම්පල බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරෙනු ඇත.

    පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සියලුම සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කර තිබේ.

    රෝග නිරීක්ෂණ හැකියාව වෛද්‍ය පර්යේෂණායතනය සතුව පවතී.

    යම් හෙයකින් වෛද්‍ය උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගුවන් මගින් ගෙන්වා ගැනීමට උපදෙස් ලැබුණු බව ද වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

     

    corona china 900px 20 01 26

    මේ අතර, කොරෝනා වෛරසය පිළිබඳ සාකච්ඡා කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂ නායකයින් හමුවෙයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව කො‍රෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    ඊයේ (25) එම රැස්වීම පැවැත්වුණේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

    කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා වන සැලසුම් මෙන්ම ඒ පිළිබද අධ්‍යයනයන් පුළුල් කිරීමට එහිදී පියවර ගෙන ති‍බේ.

    එසේම වෛරසය දැඩිව ව්‍යාප්තව ඇති හුබෙයි පළාතට බිම් මට්ටමේ කටයුතු සදහා විශේෂ කණ්ඩායම් පිටත් කර යැවීමට ද මෙම රැස්වීමේදී තීරණය කර ඇත.

    එහිදී ජනාධිපති ෂී ජින් පිං මහතා පවසා ඇත්තේ මෙවැනි වසංගත තත්වයකදී සියල්ලට ම ප්‍රථම ජීවිත වැදගත් වන අතර වෛරසය නිවරණය හා පාලනය අපගේ වගකීමක් බවයි.

    china prasident 900px 20 01

    කොමියුනිස්ට් පක්ෂයේ සියලු කමිටුවලට හා රජයට සියලු මට්ටම්වලින් ගත යුතු පියවර ගන්නා ලෙස චීන ජනාධිපතිවරයා එහිදී නියෝග කර තිබේ.

    මෙහිදී වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සදහාත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහාත් උපරිමයෙන් කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා හුබේයි පළාත් බලධාරීන්ට නියෝග කර ඇත.

    කාලානූරූපව, නිවැරදිව හා විනිවිදභාවයකින් යුක්තව දේශීය හා විදේශීය වශයෙන් ඊට අදාල තොරතුරු බෙදා හැරීම පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා කර ඇත.

     

     

    Latest News