චීනයේ වූහාන් සහ සිචුආන් ප්‍රදේශවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට ජනපතිගෙන් උපදෙස්

ජන 26, 2020

    “කොරෝනා“ වෛරසය පැතිර යන චීනයේ, වූහාන් සහ සිචුආන් ප්‍රදේශවල වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට විධිවිධාන සළසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උපදෙස් ලබාදී තිබේ.

    සිචූආන්හි වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා පිටවීම චීන බලධාරීන් තහනම් කර තිබේ. තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ද ගෙන්වා ගැනීමට විධිවිධාන සලසා අවසන්.

    ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි. චීනයේ නැනින් හි වෙසෙන තවත් සිසුන් 30 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී තිබේ. ඔවුන් ද කඩිනමින් ගෙන්වා ගැනීමට නියමිතයි. චීනය පුරා සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ මහතා පවසයි.

    Last modified on ඉරිදා, 26 ජනවාරි 2020 13:24

    Latest News