රටක් දියුණුවීමට පවුලක්, ගමක්, රටක් වශයෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි; අගමැති

ජන 25, 2020

    රටක් දියුණුවීම සඳහා පවුලක්, ගමක්, රටක් වශයෙන් සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඒ, අනුරාධපුරය විහාරස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. හොරොව්පතාන කුඩාගම, බෝධිමලු විහාරස්ථානයේ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය අද පැවැත්විණ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රෙස්න මහතා ඇතුළු පිරිසක් ඒ අවස්ථාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා....

    “අපේ ගෙදර සෙල්ලම් කරන්න මට හිටියා ඔක්කොම අයියලා, මල්ලිලා 09 දෙනෙක්. අද අපි ඔක්කොටම ඉන්නේ සමහරුන්ට එක්කෙනයි, සමහරුන්ට දෙන්නයි, නැත්නම් තුන්දෙනයි. මේ නිසා එදා මහණ කරන්න දරුවෙක් හිටියා. යුද්ධයට යවන්න දරුවෙක් හිටියා. ගොවිතැන් කරන්න දරුවෙක් හිටියා. අද පුංචි පවුල රත්තරන් කියලා ව්‍යාපාරයක් අරගෙන ගිහිල්ලා එහෙම කරපු අයට සල්ලි ගෙවපු යුගයක් හාමුදුරුවනේ තිබුණා. පිටරටින් ලැබුණු ආධාර මුදලුත් එක්ක, ඒ කාලේ තිබුණ රජයන් කටයුතු කරගෙන ගියපු යුගයක ප්‍රතිඵලය තමයි අද පන්සලටවත් හාමුදුරු කෙනෙක් මහණ කරන්න පුලුවන් කමක් නැති තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. අපි රටක පවුලක් වශයෙන් බැඳිලා ඉන්නවානම් හුඟක් වෙලාවට දේශපාලඥයෝ ඒකට සමච්චල් කරනවා. සමච්චලයට ලක්වෙන්න පවුලක් වශයෙන් එකතුවීම එකිනෙකාට සම්බන්ධ වෙලා එකට ඉඳීම අපරාධයක් වශයෙන් දකින කට්ටියක් ඉන්නවා. ඒක මම හිතනවා ජාතියක අවාසනාව කියලා. ඒක රටක් වශයෙන් ගෙදර පවුල එකතුවෙන්න ඕනේ. ගමක්-ගමක් එකතු වෙන්න ඕනේ. රටක් වශයෙන් අපි එකතු වෙන්න ඕනේ. එතකොට තමයි රටක දියුණුව ඉදිරි ගමන ඇතිවෙන්නේ කියලා අපි විශ්වාස කරනවා“ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    Muslim px 900 25 01 20

    මේ අතර මහින්ද රාජපක්‍ෂ මහතා අඟුනච්චිය මුස්ලිම් මහා විද්‍යාලයට පැමිණි‍යේය. එම අවස්ථාවේදී පාසල් සිසුන් අග්‍රාමාත්‍යවරයාව පිළිගත්තේ උණුසුම් අයුරින්.

    Latest News