CRIB වාර්තා මත පමණක් සලකා ණය දීම ප්‍රතික්ෂේප නොකරන්නැයි ඉල්ලීමක්

ජන 24, 2020

    ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් ඉල්ලීමක් කරයි.

    ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රධානීන් සමග ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහි දී අමාත්‍යවරයා පැවසූ අදහස්..

    “ඇතැම් බැංකු තමන් වෙත ණය ලබා ගැනීමට එන ගනුදෙනුකරුවාව හරවා යවන ක්‍රමවේදයක් බවට මේ CRIB Report එක එහෙමත් නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පත් කරගෙන තියෙනවා. ණය තොරතුරු කාර්යාංශයෙන් වෙන්නෙ කෙනෙකු දැනට ලබාගෙන ඇති ණය සහ ඊට අදාළ තොරතුරු ස්වාධීනව ප්‍රකාශයට පත් කිරීමයි. එම ආයතන කිසිදු අවස්ථාවක පුද්ගලයකුට ණය ලබා නොදෙන්න කියල නිර්දේශ කරන්නෙ නෑ. ඒ වගේ ම තමයි මේ ණය තොරතුරු කාර්යාංශය කිසිවකු අසාදු ලේඛන ගත කරන්නෙ නෑ. නමුත් ඇතැම් බැංකු මෙම වාර්තාව යොදා ගනිමින් ලබා දිය හැකි ණය පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් වගේ ම විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් දැනුම්වත් විය යුතුයි.
    අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන් ම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වගේ ම ඒ ඒ ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මේ අවස්ථාවට සහභාගී කරවා ගන්න අපේක්ෂා කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ණය තොරතුරු කාර්යාංශය සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව යන ආයතනවල ඉහළ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    අදාළ ආයතනවල වත්මන් තත්ත්වය විමසා සිටි අමාත්‍යවරයා කියා සිටියේ පැවැති ආණ්ඩුව ආර්ථික සම්බන්ධයෙන් විවෘතභාවයකින් තොරව ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් රටටත් ජනතාවටත් විඳවන්නට සිදූ වී බවයි. මේ හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැසක් ණය බරින් පීඩාවට පත්ව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති එම ව්‍යාවසායකයන්ට සහන ලබා දීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

    අතීතයේ පැවැතියේ වසර පහකින් පසු දේශපාලනඥයන් ආර්ථික වශයෙන් ස්ථාවරත්වයට පත් වීමේ ක්‍රමවේදය වුව ද රජයේ අපේක්ෂාව වන්නේ එම කාලය තුළ දී දේශපාලනඥයා නොව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    “මෙතෙක් කල් විවෘතභාවයකින් තොරව සකස් කළ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල රටත් ජනතාවත් භුක්ති විඳිමින් සිටිනවා. අයවැයේ යෝජනා 300කට වැඩි ප්‍රමාණයක් තිබුණත් ඇත්තට ඉන් ක්‍රියාත්මක වෙන්නෙ යෝජනා 60ක් විතර ප්‍රමාණයක්. අයවැය කතාව කියල කියන්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති නව කතාවක් මට්ටමට වැටිල තිබුණ. වත්මන් රජය කටයුතු කරන්නේ සියලු දෙනාගේ අදහස් විමසල. ඒ ගැටලුවට මුහුණ දීල ඉන්න ජනතාවගේ අපේක්ෂාවන් තමයි රජය විදියට අපි ක්‍රියාත්මක කරන්නෙ.
    ඒ අනුව තමයි මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයන් වෙනුවෙන් සහන පැකේජය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. ඒ අනුව එවැනි ණය මුදලක් අරගෙන ගෙවා ගන්න බැරි යම් අපහසුතාවකට පත් වෙලා ඉන්න ව්‍යවසායකයන් සියලුම දෙනා ජනවාරි මාසෙ 31 වැනිදට පෙර තමන් ණය ලබා ගත් බැංකු ශාඛාවට ඒ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කළ යුතුයි එහි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතර ආරච්චි මහතා ද එක්ව සිටියේ ය.

    Latest News