ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට පෙර පංච පුද්ගල කමිටුවක්

ජන 24, 2020

    මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

    එම කමිටුවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත්වේ.

    මේ අතර, වැඩ තහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) උපදෙස් ලබාදී තිබිණ.

    ඒ, විනිසුරු ගිහාන් පිලපිටිය, පර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි.

    හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මෙන්ම වැඩතහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග සිදුකළ දුරකථනය සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි, අදාළ දුරකථන සේවා සපයන ආයතන මගින් ලබාගන්නැයි ද නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබේ.

    වැඩතහනමට ලක්කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, අධිකරණයේ නීතිමය කටයුත්තක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ කුමන්ත්‍රණය කළ බවට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවයි, නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) දැනුම් දී ඇත්තේ.

    Latest News