මහ කන්නයේ වී මිලදී ගැනිමට රු.බි.100ක්; කවර බලපෑමකටවත් සහල් ආනයනය කරන්නේ නැහැ; අමාත්‍ය බන්දුල

ජන 23, 2020

    මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 100ක ණය නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්නට 8%ක සහන පොලියක් යටතේ මෙම ණය නිකුත් කරන බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලය හඳුන්වා දුන් වී මිලදී ගැනිමේ ජාතික වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ. මෙවර මහ කන්නයේ අපේක්‍ෂිත වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3ක්. වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සිදු කෙරෙ. රජයේ ආයතනවලට අවශ්‍ය සහල් සඳහා එම ආයතනවලටම සෘජුවම වී විලදී ගත හැක. රාජ්‍ය වී සඳහා සහතික මිලක් නියම කර තිබේ. වී වර්ග අනුව කිලෝවකට ගෙවන මිල ගණන් ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා...

    අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් මිලියන 3ක වී නිෂ්පාදනයක් කරලා තියෙනවා. පොහොර සහනාධාර ලබලා දීලා, පුරන් කුඹුරු අස්වද්දලා යළිත් මේ රට සහළින් ස්වයංපෝෂණය කිරීම සඳහා වන ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ ඉදිරි දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, තීන්දුවක් ගත්තා රජය බලයට පත්වූ වහාම මොනම හේතුවක් නිසාවත්, කවර බලපෑමක් ඇතිවුණාත්, සහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ කියලා. මීට පෙර ඉතිහාසය පුරාම වෙන්නේ අස්වනු කැපෙන-පෑගෙන කාලය වනවිට මිල වැඩියි, මිල වැඩියි, සහල්මිල වහා පහත හෙලවු කියලා උද්ඝෝෂණයක් ඇතිකරනවා ජාවාරම්කරුවෝ. ඇති කළාම සහල් ආනයනය කරනවා. ආනයනය කරපු අවස්ථාවේදී මිල වැඩෙනවා. සහල් මිල වැඩීමෙන් පසු ගොවි ජනතාවට සහල් තුට්ටු දෙකට තමයි අලෙවි කරගන්න වෙන්නේ. මේ රජයේ සහල් ආනයනය කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වෙලා සිටිම නිසා අපිට පහුගිය කාලයේදී ඉතිරි කරගන්න පුලුවන් කම ලැබුණා ඩොලර් මිලියන සියයක පමණ ප්‍රමාණයක්. සහල් මිල වැඩිවෙන කොට සංවේදි රජයක් ලෙස අපට තේරෙනවා. මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට විතරක් සහන පොලියට ණයදීමේ ප්‍රතිපත්තියයෙන් රජය වෙනස් වෙලා තියෙනවා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    සියලුම උපාධිධාරීන් මාර්තු මාසය වනවිට රජයේ සේවයට බඳහා ගැනීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අයැදුම්පත් මාර්තු පළමු වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාරදිය හැක. බඳවා ගනු ලබන පිරිසට මාස හයක කාලයක් නායකත්වය හා රාජකාරී පුහුණුව ලබාදීමට නියමිතයි. ඒ අනුව උපාධිධාරීන් 53,000කට රැකියා හිමිවේ.

    ජාතික විද්‍යා තාක්‍ෂණ හා නව්‍යකරණ අධිකාරියක් ස්ථාපනය කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    නිර්මාණාත්මක හැකියාවෙන් යුත් ශිෂ්‍යයන්, තරුණයන් හා විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගේ නව නිපයුම් ඵලදායි ලෙස රටේ දියුණුවටත්, ජනතාවගේ දියුණුවටත් යොදා ගැනිම සඳහා නවෝද්පාදන කරණ අයගේ නිෂ්පාදන වාණිජ්‍ය මට්ටමට පත්කරලීම සඳහා අවශ්‍ය මුල්‍ය අනුග්‍රහය හා තාක්‍ෂණය අනුග්‍රහය ලබාදීලා රටට අවශ්‍ය දුර්ලභ හැකියාවන් ඉස්මතු කරගැනීම සඳහා අධිකාරියක් ජාතික විද්‍යා තාක්‍ෂණ හා නව්‍යකරණ අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තා“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ලබන වසරේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය 20% කින් වැඩි කිරීමට නියමිතයි. ඒ සඳහා විශ්වවිද්‍යාල 08ක යටිතල පහසුකම් වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 1,912ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ව්‍යාපෘති 13ක් මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. මෙරට උසස් අධ්‍යාපනය සඳහා විදේශ හා නේවාසික නොවන ශ්‍රී ලාංකික සිසුන් ආකර්ශනය කරගැනීම සඳහා ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල ශාඛා කිහිපයක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා වු යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා....

    “ජාතික විශ්වවිද්‍යාල පද්ධතියක තිස් දහසක් වර්ෂයකට ඇතුල්කරගන්න විට අපි ඒක වැඩිකරනවා. විසිඑක් දහසක් වර්ෂයකට ලංකාවෙන් පිටව යනවා විදේශ විශ්වවිද්‍යාලවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට. වර්ෂයකට මේ සඳහා රුපියල් බිලියන 50ක් රටින් පිටට යනවා. වෙන රටවල අය ලංකාවට ඇවිල්ලා තියෙනවා අධ්‍යාපනය සඳහා ගිය වර්ෂයේ 1568 දෙනෙක්. අපි මේ ගණන ඊට වඩා විශාල ලෙස වැඩිකරන්න යෝජනාවක් මම ගේනවා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියට දෙන සියලු බදු සහන හා දිරි ගැන්වීම්, යටිතල පහසුකම් ලබාදෙනවා විදේශීය, ජාත්‍යන්තර මට්ටමේ ඉහළ විශ්වවිද්‍යාල සහ තාක්‍ෂණික ආයතන, අධි තාක්‍ෂණිකවල“ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 ජනවාරි 2020 21:56

    Latest News