අතුරුදහන් විජේවීරව ඉල්ලු බිරිඳගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

ජන 16, 2020

    අතුරුදන්ව සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

    රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය. එය අද සිසිර ද ආබෲ, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීය.

    එහිදී චිත්‍රාංගනී විජේවීර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතුරුදන්ව සිටින සිය සේවාදායිකාවගේ සැමියා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ඇය මුලින්ම අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

    එහෙත් එය සලකා බැලූ අභියාචනාධිකරණය වසර තිහකට වැඩි කාලයක් ගතවීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි සඳහන් කරමින් එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

    එම අභියාචනාධිකරණ නියෝගය බල රහිත කර මෙම පෙත්සම යළි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

    එහිදී ඇයගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ හබයාස් කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් නොමැති බවයි.

    එබැවින් වසර තිහක් ගත වීමෙන් පසුව මෙම පෙත්සම ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇයගේ නීතිඥවරයා තර්ක කර සිටියේ.

    සිය සේවාදායිකාවට පැවති බිය සහ ජීවිත තර්ජන හේතුවෙන් මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇය ඉදිරිපත් නොවූ බවද නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

    දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව සදහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 14:43

    Latest News