ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

ජන 14, 2020

    අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වන අවස්ථාවක් අද (14) රාත්‍රී උදාවේ.

    එය අද රාත්‍රී 7:42 සිට විනාඩි 2ක පමණ කාලයක් බටහිර අහසේ දිස්වේ. එය සිතිජය මට්ටමේ සිට අංශක 21 පමණ ආනතියකින් දර්ශනය වේ. එබැවින් උස් ස්ථානයක සිට එය දැක ගැනීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා ග්‍රහාලෝකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණු ප්‍රභා මහත්මිය ප්‍රකාශ කරයි. එය හෙට(15) සවස 6:55 සිට විනාඩි 4ක කාලයක් නිරිත දිග අහසේ දර්ශනය වන බවද ඇය සඳහන් කළාය.

    මේ පිළිබඳ විශාල ෆේස්බුක් පළ කිරීම් රාශියක් පසුගිය දිනවල දැකගත හැකි විය. නමුත් මෙම අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දර්ශනය වීම ඉතා සුළභ සිදුවීමක් බව අභ්‍යාවකාශ විශේෂඥයෝ සඳහන් කරති.

    දිගින් මීටර් 106ක්, පළලින් මීටර් 75ක් හා උසින් මීටර් 20ක් වන අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ප්‍රථිවියට ඉහළින් 400km පමණ කක්ෂයක ගමන් කරයි. එය තත්පරයට කිලෝමීටර් 7.6ක (7.6km/s) වේගයකින් ගමන් කරන අතර ප්‍රථිවිය වටා ගමන් කිරීමට විනාඩි 90ත් 92ත් අතර කාලයක් ගත වේ.

    මේ අවස්ථාවේ එය දර්ශනය වීම විශේෂය වන්නේ එය චන්ද්‍රයාට පසු දීප්තිමත්ම වස්තුව ලෙස රාත්‍රී අහසේ දිස්වීමයි.

    n2yo.com වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ඉහළින් ගමන් ගන්නා වේලාවන් දැන ගත හැකිය.

    n2y0.jpg

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 18:45

    Latest News