කැලිකසළ ආනයනයට එරෙහි නඩුවේ ප්‍රගතිය වාර්තා කරන්නැයි, අධිකරණය කියයි

ජන 13, 2020

    විදේශවල සිට ආනයනය කළ කැලිකසල පරික්ෂා කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අධිකරණ අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

    විදේශවල සිට කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද නැවත සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    මෙම පෙත්සම ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විදේශවල සිට ආනයනය කර කොළඹ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපවල රදවා තිබෙන බහලුම් තුළ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂක වරයාට අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිණ.

    ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දන්වා තිබුණේ අදාළ කැළිකසළ පරික්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් තමා දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

    යුක්තිය ඉෂ්ට කිරීම සඳහා බැඳී සිටින රාජ්‍ය ආයතනයක් වෙතින් මෙවැනි ප්‍රතිචාරයක් ඉදිරිපත්වීම අධිකරණය බලවත් කණස්සල්ලට භාජනය වන කරුණක් බව පෙන්වාදුන් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම් හා නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

    ඒ සඳහා එම නඩු කටයුත්තට අදාළ නියෝගවල සහතික පිටපත් අධිකරණ අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම් සහ නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කරන ලදී.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ ආනයනයකර දැනට රඳවා තිබෙන කැලිකසල අඩංගු බව කියන බහාලුම් නැවත ප්‍රති අපනයනය කිරීම කෙරෙහි මධ්‍යම පරිසර අධිකාරිය කරුණු සාකච්ඡා අරඹා ඇති බවයි.

    ඒ අනුව පෙත්සම නැවත පෙබරවාරි මස 13 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට නියම කළේය.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 14:12

    Latest News