අලි-මිනිස් ගැටුමට සිවිල් ආරක්‍ෂකයින් බඳවා ගැනේ

ජන 12, 2020

    අලි-මිනිස් ගැටුම විසඳීමේ පියවරක් ලෙස සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 2,500 දෙනෙකු බඳවා ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අලි-මිනිස් ගැටුම ජන ජිවිතයට දීර්ඝ කාලයක සිට බලපාන ගැටලුවක්. මේ හේතුවෙන් පසුගිය වසරේ අලි 386 දෙනෙකු හා මිනිස් ජිවිත 114ක් අහිමි වූහ. ඉන් වාර්තාවන ස්වාභාවික අලි මරණ සංඛ්‍යාව 37ක්. මෙරටට නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ඉහළම අලි මරණ සංඛ්‍යාව මෙය ලෙස බීබීසී මාධ්‍ය ආයතනය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ වන අලි 7,500ක් පමණ සිටින බවට ගණන් බලා තිබේ. වන ජිවි දෙපාර්තමේන්තුව පවසන්නේ 2015න් පසු අලි මරණවල වර්ධනයක් පෙන්නුම් කරන බවයි. 2016 දී අලි 279 දෙනෙකු මියයන විට මිනිස් ජිවිත 88ක් අහිමි වූහ. 2017 දී අහිමිවූ මිනිස් ජිවිත සංඛ්‍යාව 87ක් වන අතර අලින් 256 දෙනෙකු මරණයට පත්ව ඇත.

    2018 දී මිනිස් ජිවිත 96ක් අහිමි වූ අතර අලින් 319 දෙනෙකු මරණයට පත්විය. මෙම තත්වය පිටුදැකීමේ පියවරක් ලෙස, සිවිල් ආරක්‍ෂක නිලධාරීන් බඳවා ගැනීමටත් අමතරව ගිනි අවි 500ක් ද නිකුත් කිරීමටත් පියවර ගෙන තිබේ. නිලධාරීන් 08 දෙනෙකුට ගිනි අවි 5 බැගින් ලබාදීමට නියමිතයි. ඒ අලි බියවද්දා පලවා හැරීමටයි. එහි ප්‍රථම පියවර කැකිරාව, හෝරාපොල, මොරගොල්ලාගම, විහාරස්ථානයේදී ඊයේ ක්‍රියාත්මක කෙරිණ. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව අලි-මිනිස් ගැටුමට පිළියමක් ලෙස චීන රජයේ ආධාර මත ශක්තිමත් අලි වැට ඉදිකිරීමට ද සැලසුම් කොට තිබේ.

    Latest News