ශ්‍රී ලාංකීක දැව කර්මාන්තයට අගය එකතු කිරීමේ පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක්

ජන 10, 2020

    දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ස්ථාපනයේ කටයුතු කඩිනම් කිරිමට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI), මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල එක්ව මෙම දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ස්ථාපනය කිරීමට නියමිතය.

    ශ්‍රී ලාංකීය දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන හා නවෝත්පාදන නිර්මාණයන් තරගකාරී ගෝලීය වෙළෙඳපොළට හඳුන්වා දීමට හැකියාව උදාවේ. දැව කර්මාන්තයේ උන්නතිය සඳහා අංග සම්පූර්ණ සේවා සපයන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනු ඇත.

    මධ්‍යස්ථාන ද්විත්වය සාර්ථක ක්‍රියාත්මක වීම හරහා, දැව නිෂ්පාදන නිර්මාණ හා ආශ්‍රිත විශේෂ කලාපයක් බවට මොරටුව පත් කිරීම අපේක්ෂා කෙරේ. කුඩා දැව නිෂ්පාදන කර්මාන්තය වැඩිදියුණු කිරීම සහ ඒ සදහා නව අර්ථයක් සැපයීම, පුහුණු කිරීම්, දැනුම හා තාක්ෂණය පවරා දීම හරහා ධාරිතා ගොඩනැංවීම සහ දැව කර්මාන්ත අංශයේ රැකියා උත්පාදනය සිදුවේ. දැව නිර්මාණ සඳහා අනන්‍ය වූ සුවිශේෂී සන්නාමයක් නිර්මාණය කිරීම හා බුද්ධිමය දේපළ හිමිකම් මගින් එය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලාංකීය දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා උසස් තත්වයේ අපනයන වෙළඳපොළක් නිර්මාණය කරදීමට අවස්ථාව උදාවේ. දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන මගින් දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායකත්ව ප්‍රතිශතය ඉහළ නැංවීම සහ ආර්ථික සංවර්ධනය උදෙසා දැව නවෝත්පාදන අපනයනය ඉහළ නැංවීම වැනි දිගුකාලීන අරමුණු ඉටුකර ගැනීම අමාත්‍යාංශයේ ඉලක්කයයි.

    මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීමට මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් ඒ යටතේ ක්‍රියාත්මක වන COSTI අංශය අතර ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

    Latest News