දැරියක් දූෂණය කළැයි, චෝදනා ලද අකුරුස්ස සභාපතිට එරෙහි නඩුවේ තීන්දුව 17 ප්‍රකාශයට

ජන 09, 2020

    බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියෝග කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණ.
    එහෙත් පටබැඳිගේ විනිසුරුවරයා වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු තිලකරත්න මහතා නියම කළේ මෙම නඩුවේ තීන්දුව ලබන 17 වනදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.

    14 හැවිරිදි බාලවයස්කාර දැරියක දූෂණය කළ බවට චෝදනා කරමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් කරන ලද විමර්ශනයකට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 14:10

    Latest News