පළවෙනිදාම දඹුල්ලේ ගව මස් කඩයක් දාලා

ජන 01, 2020

    2020 පළමු දිනයේම ගවමස් වෙළඳසැලක් ස්ථාපිත කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

    ගලේවෙල ප්‍රාදේශීය සභාව මගින් ටෙන්ඩර් කැඳවා ලබාදුන් බලපත්‍රයකට අනුව පවත්වාගෙන යන ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේ ගව මස් වෙළඳසැලක් මෙසේ ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කනාදන ප්‍රදේශයේ අලුතින් විවෘත කර තිබේ.

    ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පමණක් දැනුවත්ව සිදුකර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශීය සභාවේ ලේකම්, ආදායම් නිලධාරී, උප සභාපති සහ මන්ත්‍රීවරුන් කිසි අයකු මේ පිළිබඳ දැනුවත් වී නොමැති බවද ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති.

    ප්‍රාදේශීය සභාවෙන් ලබාදී තිබෙන ටෙන්ඩර් මඟින්, රන්වැඩියාව ප්‍රදේශයේ කාලයක් තිස්සේ මෙම ගව මස් අලෙවිසැළ පවත්වාගෙන යන බව වාර්තාවේ. නමුත් ටෙන්ඩර් පටිපාටිය සහ ප්‍රාදේශීය සභාවේ ගිවිසුම්වලට අනුව වෙනත් ස්ථානයකට ගව මස් අලෙවිසැල රැගෙන යන්නේ නම් ප්‍රාදේශීය සභාව සමග නව ගිවිසුමකට අත්සන් කොට නීත්‍යානුකූල පියවරක් ගත යුතු බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

    beef01.jpg

    රන්වඩියාව ප්‍රදේශයේ ටෙන්ඩර් කොට ලබාදුන් පැරණ ගව මස් කඩය වසා දමා ඇති අයුරු

     

    නමුත් එසේ කිසිදු පියවරකින් තොරව මෙම ගව මස් අලෙවිසැල තවත් ගව මස් අලෙවි කරන ස්ථානයක් ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට මුහුණලා ආරම්භ කොට ඇතැයි ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරති.

    beef02.jpg

    ජනවාරි පළමුවනදා ආරම්භ කළ ගව මස් වෙළද සැල

     

    අප මේ පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. පි. ආර්. ජයතිලක මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙම ගව මස් අලෙවිසැළ මීට පෙර නගර ආසන්නයේ තිබුණු බවත් පසුව එම ස්ථානයෙන් රන්වැඩියාව ප්‍රදේශයට කාලයකට පෙර රැගෙන ගොස් තිබූ බවයි. ඒ නිසා තමා දැනුවත් කර නැවත ප්‍රධාන මාර්ගයේ ගොඩනැගිල්ලට රැගෙන ආ බව ඔහු ප්‍රකාශ කරයි

    කෙසේ වෙතත් මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා සභාපති වරයා කාර්යාලයේ නොසිටි අතර අප මේ පිළිබඳව ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමාරි අබේරත්න මහත්මියගෙන් සහ ආදායම් නිලධාරී නිමල් වික්‍රමසිංහ මහතාගෙන් මෙන්ම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටොෂාන් නිමලසිරි මහතාගෙන් විමසීමක් කිරීමේ දී කියා සිටියේ තමන් හෝ කිසිම කෙනෙක් ජනවාරි පලවෙනිදා උදෑසන මෙය වාර්තා වන තුරුත් දැන නොසිටි බවයි.

    එමෙන්ම මෙවැනි ගව මස් අලෙවිසැල් වෙනත් ස්ථානවලට රැගෙන යන්නේ නම් නීති ක්‍රමවේදයක් පවතින බව උප සභාපති ටොෂාන් මහතා සඳහන් කළ අතර ලේකම්වරිය කුමාරි අබේරත්න මහත්මිය කියා සිටියේ සභාපති තුමාගේ අත්සනින් යුතුව එය සිදුකර තිබේද යන්න නොදන්නා බවයි. කෙසේ වෙතත් තමා දැනුවත්ව මෙම ගව මස් අලෙවිසැල වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා අවසර පත්‍රයක් හෝ නොගෙන ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. ටෙන්ඩර් පත් කැඳවා ඇත්තේ රන්වැඩියාව මුස්ලිම් පල්ලිය ආසන්නයේ පවත්වාගෙන යන ගව මස් අලෙවිසැල බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික ධුරන්දර බම්බාව රජමහ විහාර භාරකාර ලේනව මංගල නාහිමියන්ගෙන් විමසීමේ දී කියා සිටියේ ගව මස් අලෙවිසැල ජනවාරි පලවෙනිදා නගරයේ ප්‍රදර්ශනය කොට ආරම්භ කිරීම සිදු නොකළ යුතු බවත් එම ගව මස් අලෙවිසැල් තිබුණු ස්ථානවල පවත්වාගෙන යෑම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන බවත්ය.

    රටේ හොඳ සාමකාමී වටපිටාවක් නිර්මාණය වන අවස්ථාවක මෙයාකාරයෙන් සිදුවීම නිසා සමගියට හානියක් විය හැකි බවද බලධාරීන් වහාම ක්‍රියාත්මක වී මෙම මස් අලෙවි සැල් තිබුණු ස්ථානවලම පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගෙන සාමයට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නැයි තමා බලධාරීන් ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් උන්වහන්සේ කළහ.

    Latest News