බස් රථ සඳහා සුභාවිත ගීත හෙට (01) සිට (වීඩියෝ)

දෙසැ 31, 2019
  • බස් රථ සඳහා සුභාවිත ගීත ඇතුළත් සංයුක්ත තැටි බෙදාදීම අද (31) ආරම්භ කෙරිණ.

    එය, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී. සංකේතාත්මකව සිදු කෙරුණේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. බස් රථ තුළ ශ්‍රවණය කිරීමට සිදුව ඇති ඝෝෂාකාරී සංගීතය දැඩි පීඩාවක් බවට ජනතාව අවස්ථා රැසකදීම මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයට පැමිණිලි කර තිබිණ. රස වින්දනයට බාධා ගෙන දෙන අවර ගනයේ ගීත ප්‍රචාරය සහ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීම බොහොමයක් අවස්ථාවල සිදුවන බව, ඔවුන්ගේ චෝදනාවයි. ඒ කෙරෙහි අවධානය යොමු කළ රජය, හෙට සිට මගී ප්‍රවාහන බස් රථ තුළ ගෝෂාකාරී සංගීතය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මගීන්ට විවේක සුවයෙන් රසවිඳිය හැකි ගීත දහසකින් සමන්විත සංයුක්ත තැටියක් නොමිලයේ බෙදාදීමටයි, පියවර ගෙන ඇත්තේ. එහි සමාරම්භය, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා...

    “මේක ඩ්‍රැයිවර් මහත්වරු, කොන්දොස්තර මහත්වරු හිරිහැරයක් කරන්නවත්, බස් හිමියන්ට කරදරයක් කරන අදහසින් නෙමෙයි. මේ කටයුත්තට ප්‍රවේශ වෙන්නේ මහජනතාවගෙන්, මගී ජනතාවගෙන් ලැබුණු ප්‍රධාන ඉල්ලීමක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන්. ඒ අය අපිට ඇත්තටම ඉල්ලීමක් කළේ මේ මොනම සංගීතයක්වත් නැතුව නිදහසේ යන්න ඉඩ දෙන්න කියලා. අපි හිතුවා ඊට එහාට ගිහිල්ලා ඩ්‍රයිවර් මහත්වරුන්ගේ අදහසුත් සැලකිල්ලට අරගෙන තමයි මේ කාරණයට ප්‍රවේශ වෙන්නේ“ යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    මෙලෙස බෙදාදෙනු ලබන අර්ථ පූර්ණ ගීත ඇතුලත් සංයුක්ත තැටි බස් රථ තුළ හෙට සිට ප්‍රචාරය කෙරනු ඇත.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 20:36

    Latest News