8වැනි පාර්ලිමේන්තුවේ 4වැනි වාරය...ජනපතිට ආචාර වෙඩි මුර 21ක උත්මාචාරයක්

දෙසැ 31, 2019

    8 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම ජනවාරි 03 වැනිදා පෙ.ව 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිතුමාට බලය හිමි වන අතර, ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

    ජනවාරි 03 වැනිදා නව සභා වාරය විවෘත කිරීමේ කටයුතු පෙ.ව 09 .00 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීමත් සමග ආරම්භ වන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වීමට නියමිතයි.
    අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාගේ පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වන අතර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

    එහි දී කථානායක කරූ ජයසූරිය මහතා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට
    නියමිත අතර ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම හා ජනාධිපතිතුමා වෙනුවෙන් සම්මාන වෙඩි මුර 21 ක් සමග උත්තමාචාර පිරිනැමීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතයි.

    වේත්‍රධාරි,නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් ගරු කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීමෙන් අනතුරුව සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

    පෙ.ව 10.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ද එතුමා විසින් සිදු කෙරේ. එය ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපතුමා විසින් පාර්ලිමේන්තු රැස්වීම කල් තැබේ.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 07:56

    Latest News