අපූරු මිනිස්සු - පැනමා ඇල සහ ගොතෙල්ස්

නොවැ 30, 2019

    සූවස් ඇල කිවොත් බොහෝ අය ඒ ගැන අසා තිබෙනවා. ඒ හරහා යාත්‍රා කල අය ද ඇත.

    නමුත් පැනමා ඇළ ලංකාවට බොහෝ දුරින් තිබීම හේතුව නිසා මෙන්ම ඉන් එතරම් බලපෑමක් ලංකාවට නැති නිසා, ඒ ගැන ලංකාවේ බොහෝ අය අසා නැති වන්නට ඉඩ ඇති.

    සැතපුම් 50ක් දිග මේ ඇළ ප්‍රංශ ජාතිකයන් විසින් 1880 දශකයේ කැනීමට ආරම්භ කළේය. එහෙත් නිර්මාණයේ අපහසුතා නිසාම මේ ව්‍යාපෘතිය නැවත් වූ විට ඇමරිකාව එය ඉටු කිරීමේ භාරදූර කර්තව්‍යය 1905 වසරේ භාර ගත්තේය. එහෙත් ඇමරිකාවෙන් ඒ කාර්යය සඳහා භාර දුන්, ‘ජෝන් ස්ටීවන්ස්’ යන ප්‍රධාන ඉංජිනේරුවා ද ඇළ කැපීමේ මුල් පියවරවල් වලින් පසු වසර දෙකකට පසු අස්ව ගියේ, එය ඉතා අසීරු කාර්යයක් බව අවබෝධ කර ගැනීමෙනි. මේ වන විට පැනමා ඇළ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 40ක් වැය වී තිබිණ.

    කඳු හෙල් සහිත මේ භුමියේ සේවය කල සේවකයන්ට, ‘කහ උන’ සහ ‘මැලේරියාව’ බහුල සේ වැළඳිණි. එකල ඇමරිකානු ජනාධිපති ‘තියඩෝර් රුස්වෙල්ට්’ ට මේ ව්‍යාපෘතිය හිසරදයක් වූයේ, ‘ව්‍යාපෘතිය කල නොහැකිය’ යන අපවාදය නිසාය. සිවිල් සේවකයන්ට වඩා යුධ හමුදාවට මෙය භාරදීමෙන් ව්‍යාපෘතිය කෙසේ හෝ සමාප්ත කල හැකි බව සිතු ජනාධිපතිවරයා, ඉහළ හමුදා නිළධාරීන් ධවල මන්දිරයට කැදෙව්වේය. දිනක සාකච්චාවකින් පසු, ‘මේජර් ජෝර්ජ් වොෂින්ටන් ගොතෙල්ස්’ [Major George Washington Goethals] මෙය ඉටු කිරීමට භාර ගත්තේය.

    එකිනෙකට අඩි 36 ක ජල උසක වෙනසක් ඇති අත්ලාන්තික් සහ පැසිෆික් සාගර යා කරන, වසර 400ක් පැරණි මේ සිහිනය සැබෑ කරවන්නට මෙතෙක් කිසිම ඉන්ජිනේරුවෙක්ට නොහැකි විය. මෙය නිර්මාණය කළහොත් සැතපුම් 8000 ක දුරක් ඉතිරි කර ගැනීමට හැකි බව ඔවුන් දැන සිටියහ. එනම් පැසිෆික් සාගරයේ යාත්‍රා කරන නෞකාවක් දකුණු ඇමරිකාව වටා යාත්‍රා කරන්නට සිදුව තිබිණ. සූවස් ඇළ නිර්මාපකයා වූ ‘ෆර්ඩිනන්ඩ් ලෙසෆ්ස් සාමිවරයා’ ද මේ කාර්යයේ භාරදූරකම ගැන මුලින් ලුහුඬින් සිතා පසුව එය අතහැර දැම්මේය.

    පතුලක් නැති මඩ ගොහොරු, මැලේරියා මදුරුවන් පිරි ඝන වනය සහ වසරේ දින 250ක් පමණ පවතින අධික වර්ෂාව මේ කාර්යය කිරීමට අපමණ බාධාවන් විය. ජනාධිපති රුස්වෙල්ට් විසින් පත් කරන ලද හත් දෙනෙකුගෙන් සමන්විත කොමිටිය වොෂින්ටනයේ සිට මේ කාර්යය අධීක්ෂණය කිරීම ප්‍රථම සැලැස්ම වුවද, එය මුරණ්ඩු මිනිසෙක් වූ ගොතෙල්ස්ට රිස්සුවේ නැත.

    යුද්ධයක් කරනවාක් මෙන් වූ මේ රාජකාරියේ සියළුම තීරණ එම ගොඩනැගීම් කෙරෙන ස්ථානයේ ගත යුතු බව ඔහුගේ අදහස විය. එය යුධ භූමියක ජෙනරල් කෙනෙක් ගන්නා තීරණ මෙන් විය යුතුය යන්න ඔහුගේ අදහස විය. ජනාධිපති රුස්වෙල්ට් විසින්ද ඒ අදහස පිළිගන්නා ලදුව අවසානයේ, ගොතෙල්ස් ව්‍යාපෘතියේ පරිපූර්ණ නියමුවා විය. ගොතෙල්ස් ජනාධිපතිව ඒත්තු ගැන්වූවාට මාධ්‍යය සහ මහජනතාව ඒත්තු ගන්වන්නට පහසු වූයේ නැත. ඔහු ගැන බොහෝ විහිළු කාටුන් එකළ පුවත් පත්හි පළවිය.

    ඔහු විල්බැරෝ එකක පස් අදිනවා සේ අඳින ලද කාර්ටුන් තිබිණ.

    මේ ව්‍යාපෘතියේ මුල් නියමුවා වන, ‘ස්ටීවන්ස්’ සේවකයන් අතර ඉතා ජනප්‍රිය වුවද, ‘ගොතෙල්ස්’ කිසි සේත් ජනප්‍රිය කෙනෙක් නොවිය. එහෙත් සේවකයන්ගේ ප්‍රසාදය සහ විස්වාසය දිනා ගන්නට කෙටි කලකින් ඔහු සමත් වූයේය. ඔහු මෙසේ කීවේය. … “ අනාගතයේද මෙහි යුධ හමුදා බලපෑමක් වන්නේ නැත”... “මා තව දුරටත් ඇමරිකානු හමුදාවේ අණ දෙන්නෙක් නොවේ”... “මා දැන් පැනමා හමුදාවට අණ දෙන්නෙමි”.... “අපගේ සතුරන් කව්රුන්වත් නොව, තනන්න යන පැනමා ඇලේ එක් කොණක සිට තවත් කොණකට ඇති නොයෙක් බාධක වේ”...

    “කතා ඇත - අපි දැන්වැඩට බහිමු... !!

    ගොතෙල්ස් ගේ අයෝමය අධිෂ්ඨානය හමුවේ සේවකයන් දිරිමත් වී ව්‍යාපෘතිය ආරම්භ විය. කිසිම දැනුම්දීමක් නොමැතිව ඔහු පහත්ම පෙළේ සේවකයන් හමුවන්නට ගොස් ඔවුන්ගේ ශත 30 ආහාර වේල ඔවුන් සමඟම අනුභව කරමින් ප්‍රශ්න මොනවාදැයි විමසුවේය. මැලේරියා සහ කහ උන මර්ධනය සඳහා යොදා ඇති දොස්තරවරුන් සිටි කාර්යාල වලට හිමිදිරියේ යන ඔහු, ඒ දොස්තරවරුන් සහ සෞඛ්‍ය සේවකයන් ප්‍රමාද වූ විට ඒ සඳහා හේතු විමසුවේය. දොස්තරවරුන්ගේ අවවාද නොසලකා කහ උන සහ මැලේරියාව වැළඳුනු රෝගීන් බලන්නට ගොස් ඔවුන් දිරිමත් කළේය.

    තනන්න යන ඇළ දිගට සැතපුම් 47 ක් දිගට තනා ඇති දුම්රිය මාර්ගයේ ඔහු දිනපතා ගමන් ආරම්භ කළේය. ඈත එන දුම්රිය දකින සේවකයන් එය දකින විට උනන්දුවෙන් සේවය කළහ. උදේ සිට රාත්‍රී 10 තෙක් දිනපතා ඔහු සේවය කරමින් 40,000 ක් වූ අන් සේවකයන්ට උදාහරණ පෙන්වීමට සමත් විණි. ඔහුගේ ක්‍රමය වූයේ ‘එකිනෙකා අතර තරඟය’ විය. එනම් හමුදා ඉංජිනේරුවන් අත්ලාන්තික සාගරයේ සිටත්, සිවිල් ඉංජිනේරුවන් පැසිෆික් සාගරයේ සිටත් කැනීම ආරම්භ කළහ. එහෙත් විශාලම අභියෝගය මේ භුමියේ මැද කොටස විය.

    එහිදී මේ ඉංජිනේරුවන්ට එක්ව සේවය කිරීමට සිදුවිය.

    අවශ්‍ය වෙලාවට සම්පූර්ණ බලය යෙදීමට ඔහු පසුබට නොවීය. වතාවක් ඔහු ගමන් ගත් දුම්රියට නිවැරදි සඥා නොලැබීම හේතුවෙන් හදිසියේ දුම්රිය තිරිංග යොදා නැවත් වීමේදී, සේවකයෙක් මැදිරි දෙකක් අතර හිරැවී මිය ගියේය. ගොතෙල්ස් විසින් එහි වරදකරු වූ ඉන්ජිනේරුවාව බරපතළ වැඩ ඇති සිර ගෙයට නියම කිරීම, සේවකයන් අතර නොසන්සුන් කමට හේතුවක් විණි. ඔහු නිදහස් නොකරන්නේ නම් සේවකයන් වැඩ වර්ජන කිරීමට තීරණය කළහ. නමුත් ගොතෙල්ස් ඒ තීරණය වෙනස් නොකලා පමණක් නොව, පැය 24 ක් ඇතුළත රාජකාරියට නොපැමිණෙන සේවකයන් සේවයෙන් අස් කර දමන බවද කියා සිටියේය.

    පසුවදා උදයේ හතට සියළු සේවකයන් සේවයට වාර්ථා කර තිබිණ.

    ඔහු විසින් මේ ආකාරයේ තීරණ ගනු ලැබුවේ අන්තනෝමතික පාලකයෙක් ලෙසින් නොවේ. ව්‍යාපෘතියේ සියළුම කොටස් ගැන පූර්ණ අවබෝධයක් ඔහුට තිබුණු හෙයිණි. සේවකයන් මේ ගැන දැන සිටියහ. එසේම මහන්සි නොබලා පූර්ණ කැප වීමෙන් සේවය කල සේවකයන්ට විගස ඉහළ තනතුරු ලැබිණි. 1909 වන වට ඔහු මේ සේවකයන් අතර මෙන්ම ඇමරිකාවේද මහත් ජනප්‍රිය පුද්ගලයෙක් විය.

    පැනමා ඇල දෙපස ඇති ජල මට්ටම් එක හා සමාන උසක නොතිබුණු බව ඉහත කියා ඇත. මේ උස ඇති ජලය පාලනය කරන්නට ඇළ හරහා තනන ලද අගුල් දොළහ කොතරම් විශාලද යත්, ඒ සඳහා භාවිතා කල කොන්ක්‍රීට් ප්‍රමාණය ඊජිප්තුවේ චියෝප්ස් පිරමීඩය තරම් විය. ‘ගටුන්’ යන බැම්මට භාවිතා කල ගල්, වැලි සහ කොන්ක්‍රීට් වලින් ලොව වටා අඩි තුනක තාප්පයක් බැඳීමට ප්‍රමාණවත් විය. ඇළ හාරා ගෙන යාමේදී ඉහළින් බුරුල් වූ ගල් ටොන් දහස් ගණන් පහතට කඩා වැටිණි. නැවත නැවත ඒවා ඉවත් කර තාප්ප බැඳීම අවශ්‍ය විය.

    මේ ව්‍යාපෘතිය සමාප්ත වන විට 5600 ක් සේවකයන් ගල් කඩා වැටීම සහ හදිසි ඩයිනමයිට් පිපිරීම නිසා මියගොස් තිබිණ. සත්‍ය වශයෙන්ම එය යුද්ධයක් මෙන් විය. පසු කලෙක අඩි 106 ක් පළල පැරණි අගුල් ඉවත් කර අඩි 160ක් පළල අගුල් නිර්මාණය කිරීම නිසා විශාල නෞකාවන්ටද ඇළ තරණය කිරීමට හැකි විය.

    1914 අගෝස්තු 14 වන දින උදේ 9:15 ට ‘ඇන්කොන්’ යන නෞකාව පැනමා ජනාධිපති ඇතුළු අමුත්තෝ අන්‍යන්ගේ ප්‍රීති ගෝෂා මැද පැනමා ඇළ තරණය කලෝය. එහෙත් ගොතෙල්ස් ඒ සමූහයේ සිටියේ නැත. ඔහු ඇළට සමාන්තරව තනා ඇති දුම්රිය මාර්ගයේ දිවෙන දුම්රියක සිට ඒ ගමන නිරීක්ෂණය කරමින් සිටියේය.

    පෙරහැරේ කොට අදින තවත් අලියෙක් මෙන් යමක් කර පෙන්වන්නට ඔහුට අවශ්‍ය වුනා මිසෙක, ‘කරඬුව ගෙන යන අලියා’ මෙන් වූ නායකයෙක් නොවන බව සේවකයන්ට පෙන්වීම ඔහුගේ අරමුණ විය. පුද්ගල වන්දනාමානය මෙන්ම ආත්ම වර්ණනයද ඔහු පිලිකුල් කළේය.

    මෙන්න මේ ආකාරයේ නායකයන් අද දින ලංකාවටද අවශ්‍යය.

    ( උපුටා ගැනීම ෆේස් බුක් අඩවියෙන්)

     

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 12:00

    Latest News