ගිංපොල් ආරක්‍ෂාවට අභය භූමියක්

ජූලි 14, 2019

    ගිං ඔය දෙපස පිහිටි ගිංපොල් සංරක්‍ෂණය කර, එම ප්‍රදේශ අභය භූමියක් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව, පුත්තලම දිස්ත්‍රික් වන ජීවි කාර්යාලය පවසයි.

    වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝලවත්ත ප්‍රදේශයේ ගිංඔය දෙපස එම ශාක විශේෂය බහුලව දක්නට ලැබේ. ලවණ මිශ්‍ර ජලජ පරිසරයේ වැඩෙන ගිංපොල් ශාකයේ විද්‍යාත්මක නාමය “නිපා පුඩිගන්ස්“ යන්නයි. කඩොලාන ආශ්‍රිත ශාකයක් වන එය ඉවුරු ඛාදනය වළක්වා ගැනීමට, ජලජ පරිසරයේ වැඩෙන සතුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වා ගැනීමට මෙන්ම, පරිසරයේ සුන්දරත්වය රැක ගැනීමට දායකවේ. එම පරිසර පද්ධති ආශ්‍රිතව ආවේණික කුරුළු විශේෂ සැරිසැරිම හේතුවෙන්, සංචාරක ආකර්ෂණය සඳහා ද ගිංපොල් ආශ්‍රිත පරිසර පද්ධති මනා පිටිවහලක්.

    මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගිංපොල් ශාකය විනාශවීමේ තර්ජනයට ලක්ව ඇති බව, අප වාර්තාකරු පවසයි. ගංඉවුරු දෙපස අනවසර ඉදිකිරීම් මෙන්ම විවිධ සැරසිලි සඳහා ගිංපොල් ශාක පත්‍ර යොදා ගැනීම ඊට බලපා තිබේ. එම නිසා වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ගිංඔය දෙපස ගිංපොල් ශාක සහිත ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කිරීමටයි, අවධානය යොමුවී ඇත්තේ. මේ පිළිබඳ සොය බැලීමට පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්‍ෂ ඩබ්.එම්.පී.එස් චන්ද්‍රරත්න මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට නිරත වූහ.

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 14:12

    Latest News