ළමා පරපුර මුඛ රෝගවලට වැඩි නැඹුරුතාවක්

ජූනි 18, 2019

    මුඛ සෞඛ්‍ය සමීක්‍ෂණ අනුව මෙරට වයස අවුරුදු 12ක දරුවන්ගෙන්, සියයට 16ක් අනිවාර්ය ප්‍රතිකාර අවශ්‍යවන දත් හා හනු ආශ්‍රිත විකෘති තාවන්ගෙන් පීඩාවිඳින බව, හෙළි වී තිබේ.

    විශේෂ වෛද්‍ය ශීවනී විජයරත්න මහත්මිය පවසන්නේ, ඒ සඳහා ප්‍රතිකාර ගත යුත්තේ, විශේෂ සුදුසුකම්ලත් විකලාංග විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගෙන් බවයි. දත්වල අක්‍රමවත් පිහිටීම සහ හනු විශමතාවන් මුහුණට ගැලපෙන අයුරින් තිරසාරව සැකසීම මගින් ආකර්ශනීය සිනහවක් හා ආහාර සැපීමට මනා හැකියාවක් ලබාදීම විකලාංග දන්ත ප්‍රතිකාරවල මූලික අරමුණයි. සියලුම දරුවන් වයස අවුරුදු 8 වනවිට මුල්ම විකලාංග දත්ත උපදේශන වෙත යොමු කිරීම වැදගත්. කල්ඇතිව උපදේශනයට යොමුවීමෙන්, සංකීර්ණ ප්‍රතිකාරවලට අවශ්‍යතාව අවම කරගත හැකියි. ප්‍රතිකාර නොගැනීම ගැටලු රැසකට හේතු වේ.

    “ගොඩක්විට අපි සඳහා රෝගීන් යොමු වෙන්නේ පෙනුම සම්බන්ධ ප්‍රශ්නයකට. ගොඩක් අය අසහනකාරී තත්වයට පත්වෙනවා අවුරුදු 20ක් විතර වෙනකොට ප්‍රතිකාර නොකිරීම සම්බන්ධයෙන්. පොඩි කාලේ ප්‍රතිකාර නොකිරීම නිසා දත් ඇතුලට පිහිටිම ඒවාගේ දේවල් හින්දා විදුරුමස්වල විශාල ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ඒක අවසානයේ දත් වැටිලා, රිදිලා වැටෙන තත්වයකට යනකම් යන්න පුලුවන්. ඊට අමතරව දත් ගෙවීම අවුරුදු 40ක් විතර වෙනකොට දත් ගෙවිලා ගොඩක් අය එන්නේ මගේ දත් හිරිවැටිලා, මගේ දත් දැන් ගෙවෙනවා කියලා. ඊළඟට දත් කුහර ඇතිවෙනවා. හකු ඇටේ තියෙන එක. ඒකේ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. විකලාංග දන්ත ප්‍රතිකාර කියන එක විශේෂඥ පුහුණුවක් ලබපු වෛද්‍යවරයෙකුගෙන් ලබාගත යුතු දෙයක්“ යැයි ශිවී විජයරත්න,විකලාංග දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

    අක්‍රමවත් ආකාරයෙන් දත් පිහිටීම වළක්වා ගැනීම සඳහා ස්ථිර දත් මතුවන තෙක් කිරි දත් රැකගැනීම සහ අවුරුදු 5 වනවිට ඇඟිලි ඉරිම වැනි පුරුදු නවතා ගැනීම වැදගත් වේ. දිවයිනේ සියලුම ශික්‍ෂණ රෝහල්, පළාත් හා දිස්ත්‍රික් මහ රෝහල් මගින් විකලාංග දන්ත ප්‍රතිකාර සේවාව නොමිලයේ ලබාදීම සිදු කෙරේ.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 19:27

    Latest News