'සර් අම්මා ගැන කිසිම ආරංචියක් නෑ' වැව්තාවුල්ලේ අළුවීගිය ප්‍රභාවතීගේ අභිරහස් මරණය..අපරාධකරු වෙස් මාරුකරලා..

ජූනි 14, 2019

    හලාවත, මුගුණුවටවන, පරපන්මුල්ල වැව්තාවුල්ලේ කාන්තාවක් ඝාතනය කොට පුළුස්සා දමා තිබූ සිද්ධියට සම්බන්ධ ඝාතකයා දීර්ඝ විමර්ශනයකින් පසු හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මියගොස් ඇත්තේ ඉතාලියේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් වන විජේරත්න ප්‍රභාවතී නමැති වයස අවුරුදු 64 කාන්තාවකි. පුළුස්සා දමා තිබූ මෙම කාන්තාවගේ මළ සිරුර හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ  නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ මාර්තු(3) මාසයේ දෙවෙනි(2) දිනයි.

    ඒ අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන්. තොරතුරු ලැබුණේ එදින වූ උදෑසන 6.00ට පමණය. පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා සිද්ධිය දැනගත් සැණින් පොලිස් කණ්ඩායමක් ද සමග එම ස්ථානයට ළඟාවිය.

    ඒවන විට පැවැති වියළි කාලගුණය හේතුවෙන් වැවේ ජලය පිරි නොතිබිණි. අවට පරිසරයේ ගස් කොළන් ද වියළී ගොස්ය. සිද්ධිය වූ ස්ථානය තරමක් පාලු ස්වභාවයක් උසුලයි. අවට පරිසරය ලඳු කැලෑවලින් ගහනය. සිරුර තිබුණේ නාන මංකඩක් ආසන්නයේයි. මළ සිරුරේ මුහුණ හදුනාගත නොහැකි අන්දමටම පිළිස්සී තිබුණ. සුදු පැහැති සල්වාරියක් ඇඳ තිබූ බවට සලකුණු එහි තිබිණ අතර පෙට්රල් දමා තිබූ බවට සැක සහිත බෝතලයක්ද ඒ අසළ තිබූ සොයා ගැනීමට හැකිවිය. මේ පිළිබඳව මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය හලාවත මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරුනේ සිරුර කවරෙකුට හෝ පැමිණ හඳුනා ගැනීම හැකිවනු පිණිසය.

    මළ සිරුර කාගේද සොයා පරීක්ෂණ අරඹයි...
    පරපන්මුල්ල ප්‍රදේශයෙන් සහ ඒ අවට ගම්මානවලින් පසුගිය කාලයේ අතුරුදහන්ව සිටින  පුද්ගලයන් කවුරුන්දැයි සොයා ගැනීම් මෙම පරීක්ෂණවල එක් අංගයක් විය.මෙය වෙහෙසකාරී කාර්යයක් වුවද මේ ඝාතනය ගැන කිසියම් හෝඩුවාවක් මේ මාර්ගයක්  හෝ අනාවරණය කර ගැනීමට හැකිවේයැයි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා  විශ්වාස කළේය.මේ අතරතුර පෞද්ගලික ඔත්තුකරුවෙකු වික්‍රමසිංහ මහතාට කිසියම් තොරතුරක් ලබා  දුන්නේය. ඒ පරපන්මුල්ල වැවට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි ගම්මානයක පදිංචි පුද්ගලයෙකු  මීට සති කිහිපයකට පෙර අතුරුදහන්ව සිටින බවටයි. හෝඩුවාව අනුව අතුරුදහන්ව සිටින පුද්ගලයා ත්‍රීරෝද රථ රියැදුරෙක් බව හඳුනා ගැනිණ.  බොහෝ අවස්ථාවල ගම්මානයෙන් පොදු වැඩ කටයුතු වලදී උදව් පදව් කරන නිරන්තරයෙන්  කඩමණ්ඩියේ ගැවසෙන මොහු හදිසියේ අතුරුදහන් වීම ගම්වාසීන් අතරද කසුකුසුවක්  ඇතිවිය. ඔහු නමින් ඥානප්‍රකාශම් ඉන්දික පුෂ්පකුමාර නමැති 39 හැවිරිදි අයෙකි. විවාහකයෙකු වවන ඔහුට වයස අවුරුදු 12ක ගැහැණු දරුවකු සිටින බවත්, ඔහු බිරිඳගෙන් වෙන්වී සිටින බව හා එම දැරිය ඔහුගේ ආච්චිගේ රැකවරණය මත සිටින බවද සොයා ගැනීමට හැකිවිය.

    ඉතාලි කතක් අම්මා සොයාගෙන පොලීසියට එයි..

    මේ අතර මොහුගේ අතුරුදන්වීම සම්බන්ධව දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු වන අතරතුරදී ඉතාලියේ සම්භවයක් ඇති කාන්තාවක් සහ ඇගේ බාල සොයුරා පොලිස් හලාවත  පොලිසියට පැමිණෙන්නේ සිද්ධිය වී සති දෙකකට පමණ පසුවය. හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්පී.ඩබ්ලිව් හේරත් මහතා හමුවී පැමිණි කාරණය කියන්නට විය. එම දෙදෙනාට සිංහල භාෂාව කතා කළ නොහැකි නිසා ඉතාලි භාෂා පරිවර්තකයෙකුගේ සහය ලබා ගත්තේය.

    ‘’සර් අපි දෙන්නා අක්කයි මල්ලියි. අපි ඉතාලියේ ඉන්නේ. අපේ අම්මා ලංකාවට ආවේ පෙබරවාරි 26. ඒ ඇවිල්ල ආපසු එනවා කිව්වේ මාර්තු 12. ඊට අදාළ ටිකට්පත් ද සකස් කරලා තිබුණේ. දින කීපයක් කිසිම තොරතුරක් නැති නිසා අපි එයාව බලන්න ලංකාවට ආවේ. අම්මගේ නමට ගම්පහ කොටදෙණියාවේ ඉඩමක් තියෙනවා. අපි එහෙත් ගියා.  එහෙත් කිසිම තොරතුරක් නැති නිසා ඒ ඉඩම බලාගත්තේ හලාවත කෙනෙක් ඒ නිසා අපි හලාවතට ආවේ. කරුණාකරලා අපට අම්මා හොයාගන්න උදව් වෙනවද ‘’

    පැමිණි සිටි අක්ක මලෝ ගේ කතාවට  සවන්දුන් හලාවත හේරත් මහතාගේ මතකයට පැමිණියේ පරපන්මුල්ල වැවේ පිලිස්සුණු කාන්තා මළ සිරුර පිළිබඳව ය. ඒ අනුව හේරත් මහතා හලාවත මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළසිරුර ඔවුනට දැක ගැනීමට සැලැස්විය. අම්මගේ උසට එම සිරුර සමානබව පැවසූවත් එය හඳුනා  ගැනීමට තරම් ඔවුනට ප්‍රමාණවත් සාක්ෂි නොවීය. පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඩී එන් ඒ පරීක්ෂාවක් සිදුකිරීමෙන් නිශ්චිතව හඳුනා හඳුනාගැනීමට හැකි බව පැවසීමෙන් පසු ඔවුන්ගේ කැමැත්ත මත ඒ සඳහා යොමු කෙරිණි. කඩිනමින් එම වාර්තාව ලබා ගැනීමට පොලිසිය කටයුතු කළේය. ඒ අනුව දින දෙකක් තුළ වාර්තාව ලැබූ අතර ඉන් කියැවුණේ මියගිය අයගේ සහ අක්කා මලෝගේ ඩී එන් ඒ සමාන බවය. ඒ අනුව ඝාතනය කොට පුළුස්සා ඇත්තේ විජේරත්න ප්‍රභාවතී නැමති නැති 64 හැවිරිදි කාන්තාවක් බව හඳුනා ගැනිණ.

    මළ සිරුර ප්‍රභාවතී ඇයි හඳුනාගනී..

    විජේරත්න ප්‍රභාභාවතීගේ උපන් ගම පානදුරය. ඇය ඉතාලියට ගොස් ඇත්තේ මීට වසර 40කට පමණ පෙරය. වසර කීපයකින් පසු එහිදී දැන හඳුනා ගන්නා ලද ඉතාලි ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධයකින් පසු විවාහ වූ ප්‍රභාවතී පසුව දියණියක සහ පුතකුගේ මව වූවාය. දරු දෙදෙනා ලොකු මහත් වී දියණිය ද විවාහ දිවියට ඇතුලත්වී වෙනම ජීවත් වේ. ඉන්පසු ප්‍රභාවතී කිසියම් හේතුවක් නිසාවෙන් ඉතාලි ජාතික සැමියාගෙන් වෙන්වී ඇය සිය පුතා සමග ජීවත් විය. මේ අතරතුර ඇය විටින් විට ලංකාවට පැමිණි නැවත ඉතාලියට ගොස් තිබේ. මෙසේ පැමිණි එක් අවස්ථාවක ඇය ගම්පහ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීමට තීරණ කළාය.

    මෙලෙස ලංකාවට පැමිණ සිටි එක්අවස්ථාවක දී ඉතාලියේ සිට ඇයගේ යෙහෙළියක් හදිසියේ පැමිණෙන්නේ සිය ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයකට ය. එම නිවස පිහිටියේ ජා-ඇල ප්‍රදේශයේ. ප්‍රභාවතී ද එම මලගෙදරට සහභාගී කර ගැනීමට ඇය කටයුතු කරයි. එසේ පැමිණෙන යෙහෙළිය ඉන්දිකගේ ද නැන්දා කෙනෙකු වේ. මෙසේ අවමංගල්‍ය උත්සවය පැවති දිනයේ ඉන්දිකගේ නැන්දා, ප්‍රභාවතී හඳුන්වා දෙයි.එසේ හඳුන්වා දීමෙන් පසුව ඉන්දික ඇයට ආමන්ත්‍රණය කළේ මැඩම් කියාය. ප්‍රභාවතී ද ඔහුට ආමන්ත්‍රණය කළේ පුතා යනුවෙන්ය. ඔවුන් දීර්ඝ වෙලාවක් කතා බහක නිරත විය.  එදින ප්‍රභාවතී නික්ම ගියේ නැවත ලංකාවට පැමිණි පසු පැමිණෙන විට ඉන්දිකව මුණ ගැසෙන බව පවසමින්ය.

    ඥානප්‍රකාශම් ඉන්දික පුෂ්පකුමාර තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය. සිය පියා කිසියම් හේතුවක් මත මවගෙන් වෙන් වී ඇති අතර ඔහු කුඩා කල ළමා නිවාසයකට ඇතුළු කර මව විදේශගතව රැකියාවක නිරත වී තිබේ. ළමා නිවාසයේ ඇතිදැඩි වූ ඔහු අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීම් කටයුතු සිදුකර ඇත.

    ඉන්පසු ඔහු පදිංචිව සිටි ප්‍රදේශයේ කාර්මික ක්ෂේත්‍රයේ පෞද්ගලික ආයතනයක සේවයට එක්වේ. වසර කීපයකට පසු එහි සේවය කරන අතරතුර ප්‍රදේශයේ දැන හඳුනා ගන්නා අයෙකු සමග ඉන්දික විවාහ දිවියට ඇතුළු වේ. ඔවුනගේ පවුලට සුරතල් දියණියක් එක් වන්නේ විවාහ වී වසරකින් පමණ පසුව ය. ටික කලකින් පසු පවුලේ පැවති අඟහිගකම් හේතුවෙනි ඉන්දික විදේශ රැකියාවකට යාමට තීරණය කරයි. සෞදි අරාබියේ කාර්මික ආයතනයක සේවයට යන්නේ ඉන් අනතුරුවයි.
    සිය බිරිඳත් දියණියත් රැකවරණ සඳහා මවගේ නිවසේ රැඳවීමට කටයුතු කරයි. සෞදි අරාබියේ සේවය කරන අතරතුර ඔහු සේවය කරන ස්ථානයේම ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයෙකු සමීපව ඇසුරු කිරීමට ලැබේ. ඔහු නමින් ජනිත්ය. ඔවුන්ගේ මිතුදම ගහට පොත්ත මෙන් බද්ධ වී තිබුණි. වසර කීපයක් ගිය පසු ඉන්දික සෞදි අරාබියේ සේවය කරන අතරතුර ඔහුගේ බිරිඳ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට තොරතුරක් ලැබෙන්නේය. මේ කාරණය නිසා ඔහු දැඩි ලෙස කම්පාවට පත්වේ. ඉන්පසු ඔහු නැවත ලංකාවට ඒමට තීරණය කරයි. ඉන්දික සිය දියණියට අසීමිත ලෙස ආදරය කළේය. එනිසාවෙන්ම ඇයගේ රැකවරණය පතා ඔහු දියණියව ඉගෙනීම් කටයුතු සඳහා මීගමුව ප්‍රයදේශයේ ජාත්‍යන්තර පාසලකට ඇතුළු කිරීමට කටයුතු කරයි.

    ඉන්දික දියණිය සමග ජීවිතයෙන් සමුගන්න තීරණය කරයි..

    ඔවුන් දෙදෙනාම එම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක ජීවත් විය. මේ අතරතුර බිරිඳගේ ක්‍රියා කලාපය හේතුවෙන් දැඩි ලෙස කලකිරුණු ඉන්දික වරෙක සිය දියණිය ද සමඟ කතිකාකර ජීවිතවවලින් සමුගැනීමට අවස්ථා දෙකකදී උත්සාහ කළේය. එහෙත් ඔහු විසින්ම එම තීරණ වෙනස් කලේ දියණිය කෙරෙහි දැක්වූ ආදරේ නිසාමය.

    ඉන්දික එම ප්‍රදේශයේ රියදුරකු වශයෙන් රැකියාවේ නිරත විය. මේ අතරතුර වසර කීපයක් ගිය පසු පැවැති අගහිඟකම් හේතුවෙන් දියණියගේ අධ්‍යාපන කටයුතුද පවත්වා ගැනීමට නොහැකි නිසා ඇයව සිය කිරි අම්මාගේ නිවසේ රැඳවීමට කටයුතු කරයි. ඉන්දික සිය රියදුරු වෘත්තිය පවත්වාගෙන යෑමට කටයුතු කළේය මේ අතරතුරය. ඔහු සමග සෞදි අරාබියේ සේවයක කළ සිය මිතුරා ද ලංකාවට පැමිණ තිබුණි. ඔහුවද නිරන්තරයෙන් හමුවී දුක සැප බෙදා ගත්තේය.

    මේ අතරතුර ලංකාවට පැමිණි සිටී ප්‍රභාවතී ඉන්දික ගේ තොරතුරු විමසා ඔහුට කොටදෙණියාව පිහිටි ඉඩම ළමා නිවාසයක් පවත්වාගෙන යාමට ලබාදෙන බව පැවසීය. ඇය එවන්නක් පැවසුවේ දෙදෙනා අතර කතාබහ කරන අතරතුර ඔහු ළමා නිවාසයක දීර්ඝ කාලයක් ජීවත් වූ හෙයින් ළමා නිවාස පවත්වාගෙන යාමට ඔහුට ආශාවක් ඇති බව පැවසූ නිසා ය.ඇයගේ වචනයට ඔහුද දැඩි බලාපොරොත්තුවක් හිතේ ලබා ගත්තේය. එහිදී ළමා නිවාසයක් පවත්වාගෙන යාමට නම් ඔහුගේ නමට ඉඩම ලියා දෙන බවට ඉල්ලා සිටියේය. ඇය ඊට කැමැත්ත පළකළේ නොසතුටින්ය. මෙලෙස ටික දිනකින් නැවත ලංකාවට එන බව පවසා ඇය ඔහුගෙන් සමුගෙන ඉතාලිය බලා පිටත් විය.

    මාරයා සොයා ප්‍රභාවතී ලංකාවට...

    මෙසේ ටික කලක් ගතවිය. ඉකුත් ජනවාරි 26 වැනි දින නැවත ප්‍රභාවතී ලංකාවට පැමිණෙන බව ඉන්දිකට දුරකථනයෙන් දැන්වීය. තමාව රැගෙන යාමට පැමිණෙන ලෙස ඇය ඔහුට කියා සිටියාය. ඒ අනුව කතා කරගත් පරිදි ඒ දින සවස ලංකාවට පැමිණියාය. ඉන්දික ඇයව රැගෙන යාමට රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ගියේය.

    ත්‍රීරෝද රථය නංවාගත් ඇයව වැලිපැන්න අන්දරේ ප්‍රදේශයේ ඉන්දිකගේ යහළුවෙක් නිවසට රැගෙන ආවේ ය. මෙලෙස එම නිවස දින තුනක් රැඳී සිටි අතර තුන්වන දිනයේ නිවසේ නිවැසියන් රාත්‍රී පන්සලේ පින්කමක් සඳහා පිටත්ව ගියේය. මේ අතරතුර ඉන්දික ඇයගේ ඉඩමේ ඔප්පුව රැගෙන ඇයට නොදැනෙන සේ පරික්ෂා කළේය. එහිදී ඔහුට මෙම ඉඩම කිසියම් කෙනෙකුට ලියා ඇති බවට ඒත්තු ගියේය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවිය. එම බහින්බ බස්වීම දුරදිග ගියේය. කෝපයට පත් ඉන්දික වැරෙන් ඇයට පහරක් එල්ල කළේය. ඇය සිසුන් සිහිසුන්ව බිම් දිගාවිය. ටික වේලාවක් ගතවිය ඇයට සිහිය එනබවට කිසිදු සලකුණක් නොදැනුණි. බෙල්ල කඩා කඩාවැටී ය.ඇය මියගොස් ඇති බවට තේරුම් ගත් ඔහු මහත් පරිශ්රුමයක් යොදා ඇය ඔසවා ත්රි රෝද රථයේ දමා පරපන්මුල්ල දෙසට ගමන් කළේය. පොලිසියට ඇසන නොගැසෙන අන්දමින් අතුරු මාර්ග දිගේ පරපන්මුල්ල වැව දෙසට ගමන් කිරීමට කටයුතු කළේය. වැව ආසන්නයේ තිරෝද රථය නතර කර ජලය නොමැති ප්‍රදේශයක සිරුර තබා ඇය ඇඳ සිටි සල්වාරි කොටසක්ද කොට්ටයක් ද මුහුණට තියා පෙට්රයල් දමා ගිනි තිබ්බේය. එසේ එසේ කළ ඔහු ඉක්මනින් එම ස්ථානයෙන් පිටව ගියේය.

    පසුව හලාවත පොලිසියට මහත් අභියෝගයක් වූයේ මෙම අපරාධය සිදුකළ අපරාධකරු හඳුනාගැනීමය. මෙම තොරතුරු අනුව අපරාධකරු ඉන්දික බව හඳුනාගත් ද ඔහු සිටිනා ඉසව්ව සොයා ගැනීමට එතරම් පහසු නොවීය. ඔහු භාවිතා කර දුරකතන අංකය සොයා ගැනීමට පොලිසියට හැකිවිය. එසේම ඔහු කාන්තාවන් කීපදෙනෙක් ද ඇසුරු කර ඇති බව සනාථ විය. මේ අනුව එක් දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන කට කටයුතු සිදු කිරීමේදී ඔහුගේ සමීපතම මිතුරෙක් වන සෞදි අරාබියේ සේවය කළ ජනිත් යන අයගේ තොරතුරු ද සොයා ගැනීමට හැකිවිය. පසුව සොයා බැලීමේදී ඉන්දික ඔහුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ඇය සමග ජීවත්වන බවට අනාවරණය විය.

    මේ අනුව ඔහු භාවිතා කළ දුරකථන විශ්ලේෂණ වාර්තාවකින් හෙළිවූයේ මිනුවන්ගොඩ සිට කොළඹ බලා නිරන්තරයෙන් ගමන් කර න බව ය. පසුව සොයා ගැනීමට හැකිවූයේ ඔහු පෞද්ගලික බස් රථයක රියැදුරකු වශයෙන් සේවය කරන බවය. මේ අනුව ඉකුත් 10 වැනිදින උප පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රැකවල්ලා සිටියේය.

    දින එකහමාරක් පමණ ඔවුන් එහි ගත කිරීමෙන් පසුව අපරාධය සිදු කළ අපරාධකරු අත්අඩංගුවට ගැනීම්ට හැකි විය. එහිදී අනාවරණය වූයේ ඔහුගේ සමීපතම මිතුරා වන ජනිත්ගේ හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍රය භාවිත කරමින් නිදැල්ලේ සැරිසරා ඇති බවය. එම ජාතික හැඳුනුම්පත් සහ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයට සමානව ඔහු පෙනී සිටීමට උත්සාහ කර ඇති බවද අනාවරණය විය.

    ප්‍රභාවතී මැරුවේ ගෙල මිරිකලා...

    ඉන්දික ප්‍රභාවතීට වැරෙන් පහරක් එල්ල කිරීමෙන් ඇය සිහිසුන්ව වැටීමෙන් මියගිය බව පොලීසිය හමුවේ කියා සිටිය ද හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රොමේෂ් අලගියවන්න මහතාගේ පශ්චාත් මරණ පරික්ෂා වාර්තාවේ සඳහන් වූයේ ගෙල මිරිකා මරා දමා ඇති මරණයක් බවට ය. අපරාධයක් සිදුකර කිසිදා සැඟවිය නොහැකිය යන ධර්මතාවය මෙම සිද්ධියට කදිම උදාහරණයකි.

    හලාවත කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සුරංජිත් කුමාර පේලි මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත්මහතා, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් රත්නායක මහතා, උප පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා, පොලිස් සැරයන් 21366 සූරසිංහ, 29227 රංජීත්, පොලිස් කොස්තාපල්වරුන් වන 32086 අබේසිංහ, 17879 දේශප්‍රිය,46806 වසන්ත යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළේය.

    වාර්තාකරු - පුත්තලම මිහිර විජේසේකර

    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2019 13:09

    Latest News