ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 උපාය මාර්ගික ප්‍රවාහන බලගණයට වසර 25ක් සපිරෙයි

අප්‍රේ 02, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 8 උපාය මාර්ගික ප්‍රවාහන බලගණයට වසර 25ක් සපිරෙනවා. 1996 වසරේ අප්‍රේල් දෙවැනිදා එම බලගණය ස්ථාපනය කෙරිණ.

    මෙය ආරම්භ කෙරුණේ,වයි 12 ප්‍රවාහන ගුවන් යානා සහ බී 200 නිරීක්ෂණ ගුවන් යානාවලින් සමන්විතවයි. 2011 වසරේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැපයීමේ සේවාව වන හෙලිටුවර්ස් සේවාව යටතේ එම් ඒ 60 මගී ප්‍රවාහන ගුවන් යානා ද්විත්වයක් හඳුන්වා දෙනු ලැබීය.

    කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ දී මෙම බලගණයට අයත් ගුවන් යානාවලින් සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළීමෙන් ප්‍රහාරක ගුවන් මෙහෙයුම් සඳහා දායකත්වය ලබා දී තිබේ.

    මෙම බලගණයට අයත් බිචි කිං එයාර් 200 ගුවන් යානය මූලිකව ප්‍රභූ ප්‍රවාහන ගුවන් යානයක් වුවද 1996 වසරේ දි බුද්ධි සන්නිවේදන උපකරණයන්ගෙන් හා දිවා - රාත්‍රී ක්‍රියාත්මක කැමරාවකින් සමන්විත ආවේක්ෂණ ගුවන් යානයක් ලෙසට පරිවර්තනය කෙරිණ. එම යානයෙන් ලබා ගත් සජීව දර්ශන දේශපාලනික උපාය මාර්ගික මට්ටමේ සිට යුධමය උපාය මාර්ගික මට්ටම දක්වා සියලු තලයන්හි භාවිතයට ගැනිණ.

    සෙබලුන් හා භාණ්ඩ ප්‍රවාහනයට අමතරව ගුවන් ආවේක්ෂණ මෙහෙයුම්,විශේෂ ප්‍රභූ ප්‍රවාහනය,සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම්,අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගුවනින් බෙදා හැරීමේ මෙහෙයුම් ආදී කාර්යයන් රැසකට එම බලගණය සිය දායකත්වය ලබා දී තිබේ.

    විශ්‍රාමික ගුවන් හමුදාපතිවරුන් කිහිපදෙනෙක් අංක 8 උපාය මාර්ගික ප්‍රවාහන බලගණයට අයත් ගුවන් යානාවල ගුවන් නියමුවන් ලෙස ද ක්‍රියාකර තිබේ. මේ බලගණයේ වර්තමාන අණදෙන නිලධාරියා වන්නේ ගෘප් කැප්ටන් පූජන ගුණතිලක මහතායි.

    Latest News