කාන්තාවන් පමණක් සේවය කරන ශ්‍රී ලංකාවේ "පළමු ඉන්ධන පිරවුම්හල"(ඡායාරූප)

ජන 11, 2019

    ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් ලෙස කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ඉන්ධන පිරවුම්හලක් ගම්පහ දිස්ත්‍රික්කයේ නාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    කොළඹ-කුරුණෑගල මාර්ගයේ පිහිටා ඇති මේ ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිය ද තරුණ කාන්තාවක් වීම විශේෂත්වයකි. එසේම එහි කළමනාකාරිනිය ද කාන්තාවකි.

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පොම්ප ක්‍රියාකරුවන් ලෙස සේවය කරන්නේ පුරුෂයන්ය. එවැනි රාජකාරි කළ හැක්කේ පුරුෂයන්ට පමණක් බවට සමාජයේ පවතින මතයයි.

    කාන්තාවන් බලගැන්වීමේ අරමුණින් කාන්තාවන් පමණක් යොදා ගනිමින් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පළමු ඉන්ධන පිරවුම්හල මෙය බව එහි හිමිකාරිය රශ්මි පතිරාජ ප්‍රකාශ කරයි.

    රශ්මි පතිරාජ පවසන පරිදි කාන්තාවන් ඉන්ධන පොම්පකරුවන් ලෙස යොදා ගැනීමට අදහසක් පහළ වී ඇත්තේ ඇය චීනයේ කළ සංචාරයකදීය. "චීනෙදී අපි දැක්කා සෑම ඉන්ධන පිරවුම්හලකම වගේ ඉන්නේ කාන්තාවෝ"

    2014 වසරේ පිරවුම්හල ආරම්භ කර ඉන්ධන පොම්ප ක්‍රියාකරු ලෙස කටයුතු කර ඇත්තේ ද එහි හිමිකාරිය වන රශ්මි පතිරාජය. ''ඉස්සෙල්ලම මම තෙල් ගහල බැලුව මට කරන්න පුළුවන් ද කියල. සුළු දෙයක්. මං සාර්ථකව කරපු හින්ද මං හිතුවා අනිත් අයටත් පුළුවන් කියලා. එයාලත් අද වෙද්දී සාර්ථකයි.''

    woman px 900 19 01 11

    මේ වනවිට පොම්ප ක්‍රියාකාරිනියන් අට දෙනෙකු පිරවුම්හලේ සේවය කරන අතර රාත්‍රී සේවා මුර සඳහා පමණක් පුරුෂයන් දෙදෙනෙකු එහි සේවයට යොදවා තිබේ. රාජකාරි වගකීම් දෙස බැලීමේ දී පුරුෂයන්ට වඩා කාන්තාවන් මත වැඩි විශ්වාසයක් තැබිය හැකි බව හිමිකාරිනියගේ අදහසය.

    මෝටර් රථ ටයරවල වායු ප්‍රමාණය පරීක්ෂා කිරීම ද කාන්තාවන් අතින් සිදුවේ. කාන්තාවන් සේවය කළ ද කිසිඳු ප්‍රමාදයකින් තොරව තමන්ට ඉන්ධන පුරවාගත හැකි බව එහි පැමිණ සිටි පාරිභෝගිකයන් කිහිප දෙනෙක් පැවසූහ.

     

    (BBC Sinhala Web)

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 15:00

    Latest News