ආදරයෙන් වෙලුනු වවුලු පැටවා

ජන 10, 2020
  • ඕස්ට්‍රේලියානු ලැව් ගිනි හේතුවෙන් දහස් ගණන් සතුන් අසරණ වී ඇති බව වාර්තාවේ.

    එමෙන්ම විවිධ සතුන්ගේ කුඩා පැටව් මව් සතුන් නොමැතිව අනාථ වී ඇති අතර එම සත්වයන් බේරාගැනීමට නිරන්තර රැකවරණයක් අවශ්‍ය වී තිබේ.

    ඒ අනුව ලොව පුරා විවිධ පිරිස් ස්වේච්ඡාවෙන් ඒ සඳහා එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුඩා පැටව් උණුසුමේ තබා ගැනීමට උපකාරීවන කුඩා මලු සහ පොරෝන රෙදි එම පිරිස් විසින් නිර්මාණය කරන බව වාර්තාවේ. ඒවා සත්ව සුරැකීමේ සංවිධාන විසින් එකතු කර සතුන් රැකබලා ගැනීමේ පිරිස් වෙත බෙදා දේ.

    බීබීසී පුවත් සේවය වාර්තා කළේ සිංගප්පූරුවේ වාසය කරන ඕස්ට්‍රේලියානු ජාතික මවක් හා දියණියක් විසින් කරන එවන් සත්තාරයක් ගැනයි. ‍ක්‍රිස් පාර්කින්සන් නම් මව සඳහන් කළේ ෆේස්බුක් ඔස්සේ ලැබුනු අදහසකට අනුව තම නිදහස් කාලය මේ සඳහා වෙන්කරමින් සතුන් උණුසුම්ව තබා ගත හැකි මලු සහ පොරොන නිර්මාණය කරන බවයි.

    ඕස්ට්‍රේලියාවේ වෙසෙන සත්ව රැකබලා ගන්නා අයෙකු වන ජූඩිත් මහත්මිය විසින් එම පොරොන උපකාරයෙන්, ලැව්ගිනි හේතුවෙන් අනාථ වූ වවුලු පැටවුන් මේ ආකාරයෙන් රැකබලා ගනී. ඇය පවසන්නේ මේ කුඩා සත්වයන් නිරන්තර උණුසුමක් යටතේ රැකබලා ගත යුතු බවයි.

    ක්‍රිස් පාර්කින්සන් මහත්මිය පවසන්නේ මෙම පොරෝන මගින් අනාථ වී සිටින කුඩා පැටවෙකු ජීවත් කරවීමට හැකි වීම ඇයට මහත් සතුටක් බවයි.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 15:16

    Latest News