මේ දිනවල වැඩි ලාභ ලබන කුඹල් කර්මාන්තය

ජන 01, 2022

    මේ දිනවල තම කර්මාන්තයෙන් වෙනත් කිසිඳු කාලයක නොලැබූ අයුරින්, ලාභ ලැබෙන බව කුඹල්ගැටේ කුඹල් කර්මාන්තයේ ජනතාව පවසයි. සැපයුම ලබාදීමට නොහැකි තරම්, තම නිෂ්පාදනවලට ඉල්ලුමක් පවතින බවයි එම ජනතාව පවසන්නේ.

    කුඹල්ගැටේ සාම්ප්‍රදායික කුඹල් කර්මාන්ත ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය මැටි ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනයයි.

    නමුත් එම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් මිලක් නිසි වෙළෙඳපොලක් නොමැති බවට ඔවුන් මැසිවිල් නගන්නේ වසර ගණනාවක සිටයි. මේ වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය ඇතුළු අනෙකුත් කරුණු හේතුවෙන් තම නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් මෙන්ම නියමිත මිලක් ලැබෙන බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

    ගම්මානයේ නිෂ්පාදනය කරන මැටි ලිප් ඇතුළු අනෙකුත් භාණ්ඩ සදහා මෙවැනි ඉල්ලුමක් සහ මිලක් පවතින්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
    විශේෂයෙන් මැටි ලිප් සඳහා මේ දිනවල දැඩි ඉල්ලුමක් පවතින අතර එම තත්වය අඛණ්ඩව පවතින්නේ නම් තම කර්මාන්තය දියුණුවට පත්වන බවයි කුඹල් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

    වත්මන් රජය විසින් මැටි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරන බවත් පසුගියදා ගම්මානයේ සියලු පවුල් සඳහා නවීන යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීමට හා කඩ කාමර ඉදිකර ගැනීමට මුදල් ආධාර ලබාදුන් බව ද ගම්වාසීන් ප්‍රකාශ කරයි.

    ඉතිහාසයේ වෙනත් කිසිඳු රජයකින් නොලැබුණු මෙම සහයෝගය මැටි කර්මාන්තය අද පවතින ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හේතු වූ බවත් ඒ සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කරන බවත් කුඹුක්ගැටේ කුඹල් කර්මාන්තයේ ජනතාව පවසයි.

    Latest News