ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතා නිසා නවදිල්ලියේ ආරක්ෂාව තරවේ

දෙසැ 20, 2019

    මතභේදාත්මක ඉන්දීය පුරවැසි පනතට එරෙහි විරෝධතා හේතුවෙන් එරට අගනුවර වන නවදිල්ලියේ ආරක්ෂාව තරකර තිබේ.


    මේ අනුව නවදිල්ලියේ රතු බලකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ 144 වන තහනම් නියෝගය මේ වනවිට බලගන්වා ඇත.

    අදාළ නියෝගයට අනුව 4දෙනෙකුට වඩා ඒකරාශී වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක අංශවලට හිමිව ඇත.

    අනෙකුත් ප්‍රාන්තවල සිට විරෝධතාකරුවන් අගනුවර තුළට පිවිසීම වැළැක්වීම සඳහා නවදිල්ලියේ මායිම් ප්‍රදේශවල විශේෂ නිරීක්ෂණ සැළසුමක් ක්‍රියාත්මක කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කළේ ය.

    මේ අතර රතුබල කොටුව ආශ්‍රිතව විරෝධතාවල නිරත විශාල පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම නියෝග නොතකා කටයුතු කිරීම හේතුවෙන්.

    විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා නවදිල්ලියේ සන්නිවේදන පහසුකම් සහ අන්තර්ජාල අවහිර කර තිබේ.

    අගනුවර පිහිටි මෙට්‍රෝ දුම්රිය ස්ථාන 15ක්ද මේ වනවිට ආරක්ෂක හේතුන් මත වසා දමා ඇතැයි සඳහන් වේ.

    මේ අතර දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද කේජ්රිවාල් පවසා ඇත්තේ, නීතිය හා සාමය පිළිබඳව රට තුළ භීතියක් ඇති වී තිබෙන බවයි.

    කර්ණාටක ප්‍රාන්තයේ ද අඛණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට 144 වන තහනම් නියෝගය බල ගන්වා තිබේ.

     

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 11:42

    Latest News