කියුබාවට එරෙහිව අමෙරිකානු සම්බාධක ඉවත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලීමක්

නොවැ 08, 2019

    අමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉල්ලයි.

    එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩලය ඊයේ (07) බහුතර ඡන්දයෙන් ලබා ගත් තීරණයක් සම්මත කරමින් අමෙරිකාව කියුබාවට එරෙහිව වසර 60ක පමණ කාලයක් තුළ පනවා ඇති ආර්ථික, වාණිජ හා මූල්‍ය සම්බාධක නතර කරන ලෙස යළිත් වරක් ඉල්ලීමක් කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙවැනි තීරණයක් අඛණ්ඩව සම්මත කළ 28 වැනි අවස්ථාව මෙයයි.

    කියුබාව ඉදිරිපත් කළ තීරණ කෙටුම්පතකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් 193ක සාමාජික රටවලින් රටවල් 192ක් ඡන්දය දුන්නේ ය.

    ඒ අතරින්, රටවල් 187ක් පක්ෂව ඡන්දය දුන් අතර අමෙරිකාව, ඊශ්‍රායලය හා බ්‍රසීලය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

    කොලම්බියාව හා යුක්රේනය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

    පසුගිය 6 හා 7 යන දෙදින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳ විවාදයක් පැවැත්විය.

    එහිදී දේශන කළ විවිධ රටවල හා කලාපවල නියෝජිතයින් බහුතරයක් කියුබාවට අනුබලයක් ලබා දූන්හ.

     

    Latest News