CIA පරවියෙකුගෙන් සෙව් රහස් තොරතුරු

සැප් 16, 2019

    අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත්, CIA ආයතනය ශීත යුද සමයේ ඔත්තු සේවා සඳහා පරවියන් යොදා ගැනීම පිළිබඳ තොරතුරු හෙළිකර තිබේ.

    එමගින් අනාවරණය වී ඇත්තේ ඩොල්ෆින් මත්ස්‍යයින්, සුනඛයින්, බළලුන් මෙන්ම කපුටන් ද ඔත්තු සේවා සඳහා යොදා ගෙන ඇති බවයි. පණිවුඩ හුවමාරුව සඳහා පරවියන් යොදා ගැනීම ආරම්භ වී ඇත්තේ, වසර දෙදහසකට පමණ පෙර සිටයි. පර්සියානුවන් මෙන්ම රෝම ජාතිකයන් ද සන්නිවේදනය සඳහා පරවියන් යොදාගත් බව ඉතිහාසයේ සඳහන්. සැතපුම් දහස් ගණනක් දුර සිට වුවද තම වාසභූමිය වෙත ආපසු පැමිණිමේ හැකියාව පරවියන් සතුයි.

    පළමු හා දෙවැනි ලෝක යුද්ධවලදී සංග්‍රාමික උපක්‍රම හුවමාරුව සඳහා ද පරවියන් යොදාගත් බව සඳහන්. දෙවැනි ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔත්තු සේවා සඳහා පරවියන් ලක්‍ෂ දෙකක් පමණ භාවිත කර තිබේ. අමෙරිකානු CIA ආයතනය පරවියන් පුහුණුකර ඇත්තේ සෝවියට් සංගමයේ විවිධ ස්ථානවල ඡායාරූප සහ හඬ පට ලබා ගැනීමයි. ඒ සඳහා භාවිත කර ඇත්තේ පරවියන්ගේ ශරීරයේ සවි කෙරුණු සියුම් තාක්‍ෂණික මෙවලමක්. එය වඩාත් සාර්ථක වී ඇත්තේ හැත්තෑව දශකයේය.

    ඔත්තු සේවා සඳහා සංග්‍රමණික පක්‍ෂීන් හොදා ගැනීම CIA ආයතනයේ මීළඟ පියවර බවට පත්ව තිබේ.

     

     

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 15:06

    Latest News