උත්තරකාන්ද් ප්‍රාන්තයේ ගැහැණු දරු උපත් සංඛ්‍යාව පහළට

ජූලි 28, 2019

    ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ ගම්මාන 132ක ගැහැණු දරු උපත් සිදු නොවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඒ, පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින්. පසුගිය මාස තුනේ උපත් පිළිබඳ සමීක්‍ෂණය සිදුකර ඇත්තේ උත්තරකාෂී දිස්ත්‍රික්කය තුළයි. අප්‍රේල් මාසයේ සිට ජුනි මාසය දක්වා දිස්ත්‍රික්කයේ ගම්මාන 132කින් වාර්තා වී ඇති දරු උපත් සංඛ්‍යාව 216ක්. ඒ සියලු දෙනාම පිරිමි ළදරුවන් බව වෛද්‍ය සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙයි. නවතම දත්තවලට අනුව සමස්ත ඉන්දියාවේ පිරිමි දරු උපත් දහසකට වාර්තාවන ගැහැණු දරු උපත් සංඛ්‍යාව 930ක්. ඒ අනුව උත්තරකාශි දිස්ත්‍රික්කයේ තත්වය සැකයට තුඩු දී ඇතැයි ප්‍රධාන අමාත්‍ය ත්‍රිවේන්ද්‍රා සිං රවාත් පවසයි.

    විවිධ සංස්කෘතික හා සමාජයීය හේතූන් මත ගැහැණු දරුවන් පවුලට එක්වීම ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් අඹු-සැමියන් පෙළඹී ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන්. ස්කෑන් පරීක්‍ෂණයක් මගින් කළලයේ ලිංගිකත්වය හඳුනා ගැනීමෙන් පසුව ගබ්සා කිරීමකින් ගැහැණු කළල විනාශ කරන බවට වාර්තා පළවී තිබේ. පිරිමි දරු උපත්වලට වඩා ගැහැණු දරු උපත් සංඛ්‍යාව උත්තරකාන්ද් ප්‍රාන්තයේ පහළ ගොස් ඇත්තේ 1931න් පසුවයි. වර්තමානය වනවිට අනුපාතය පිරිමි දරුවන් දහසකට ගැහැණු උපත් 963ක් දක්වා අඩුවී තිබේ.

    Last modified on ඉරිදා, 28 ජූලි 2019 19:45

    Latest News