ඉන්දියාවේ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කළ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

අප්‍රේ 30, 2019

    දකුණු දිග ඉන්දියාවේ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කළ අයි.එස්. ත්‍රස්තවාදී ප්‍රධාන සැකකරුවෙකු වන රියාස් අබුබකර් අද(30) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසිනි. අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන පුද්ගලයන් සොයා කේරල ප්‍රාන්තයේ නිවාස තුනක් ඊයේ විශේෂ පරීක්‍ෂාවකට ලක් කෙරිණ.


    අබු දුජනා යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන, 29 හැවිරිදි රියාස් අබුබකර් කේරල ප්‍රාන්තයේ පලක්කද් හි පදිංචිකරුවෙකි. තමා වසර කිහිපයකට පෙර අන්තවාදයට නැඹුරු වූ බවට ඉන්දීය ආරක්‍ෂක අංශ වෙත ඔහු පාපොච්චාරණය කර තිබේ. ප්‍රාන්තය පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කිරීමට සැකකරු සැලසුම් කර ඇති බවටයි, තොරතුරු අනාවරණය වී ඇත්තේ. රියාස් අබුබකර් මෙරට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු ලෙස ද සැලකේ. මීට වසරකට පෙර සහරාන් හෂිම්ගේ දේශනවලට නැඹුරු වී ඇති රියාස් අබුබකර් ඉස්ලාම් අන්තවාදය කෙරෙහි නැඹුරු වී ඇති බවට ද විශ්වාස කෙරේ. ඔහු ඉස්ලාමීය අන්තවාදී පුජකයෙකු වන සකීර් නයික්ගේ දේශන අනුගමනය කර ඇති බව ද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අනාවරණය කර තිබේ.

    වේල පට්නම් අයි.එස්. ත්‍රස්තවාදී සිද්ධිය හා සම්බන්ධ බවට සැක කෙරෙන අබ්දුල් කයුම් සමඟ ද සබඳතා පැවැත්වූ බවට රියාස් අබුබකර් තොරතුරු හෙලිකර ඇත. අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට චෝදනා එල්ල වී ඇති තිදෙනෙකු සොයා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ නිවාස තුනක් වටලනු ලැබීය. එහිදී සිම් කාඩ්පත් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 22:57

    Latest News