මාලදිවයින් මහ මැතිවරණය අද

අප්‍රේ 06, 2019

    මාලදිවයින් පාර්ලිමේන්තු මහ මැතිවරණ අදයි. මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 87ක් සඳහා අපේක්ෂකයන් 386 දෙනෙක් තරග වැදීමට නියමිතයි.

    එරට වේලාවෙන් පෙරවරු 8.00ට මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර, පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව දෙලක්ෂ හැටහතරදහස් පන්සිය අසූනවයක්. එසේම, ඡන්ද මධ්‍යස්ථාන 500කට අධික ප්‍රමාණයක් පිහිටුවා ඇති බව ද වාර්තා වෙයි. පසුගිය වසරේ නොවැම්බර් මස නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි බලයට පත්වූ අතර, ඉන් අනතුරුව පැවැත්වෙන මෙම මැතිවරණ රාජ්‍ය ස්ථාවරභාවය උරගා බැලෙන සුවිශේෂී අවස්ථායක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2008 වසරේ දී බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මාලදිවයිනේ ස්ථාපනය කිරීමෙන් අනතුරුව පැවැත්වෙන තෙවැනි පාර්ලිමේන්තු මැතිවරණ මෙයයි. වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලි මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සහ තවත් පක්ෂ තුනක එකතුවේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නමුත්, අද පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළ පක්ෂ වෙන් වෙන් වශයෙන් තරග වැදීම විශේෂත්වයක්.

    ඊයේ දිනයේ දී සැණකෙළියක ස්වරූපයෙන් මාලේ අගනුවර පැවති අවසන් මැතිවරණ රැළිය සඳහා වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් සොලි මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වන මොහොමඩ් නෂිඩ් ද එක්ව සිටියේය.

    Latest News