ග්ලැසියර දියවී නේපාලය අනතුරේ

අගෝ 21, 2024

    ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් සිදු වන ග්ලැසියර දියවී යාම හේතුවෙන් නේපාලයේ ගම්මාන රැසකට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඇතැම් ගම්මාන, මේ හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමක් හට ගෙන ඇති බවයි, නේපාල බලධාරීන් පවසන්නේ.

    ගෝලීය උණුසුම ඉහළ යාම මේ වන විට ලොවපුරා රටවල් සියල්ලටම පාහේ දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා.

    ග්ලැසියර සහ හිම සහිත විශාල කඳු ආශ්‍රිත ජනතාවට ඉන් සෘජු සහ දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින අතර, ඔවුන්ගේ ජීවිතවලට ඉන් එල්ල වී ඇත්තේ, දැඩි තර්ජනයක්. ශීඝ්‍රයෙන් දිය වී යන ග්ලැසියර හේතුවෙන් ඇති වන ගංවතුර තත්වයන් නිසා නේපාලයේ ගම්මාන රැසක් පූර්ණ වශයෙන් විනාශ වී‍ යාමේ තර්ජනයකට මුහුණ දී සිටිනවා.

    මුහුදු මට්ටමට මීටර 3,800 ක් ඉහළින් පිහිටි ‘තාම්’ නමැති ‘ශර්පා’ ගම්මානය, පසුගියදා එලෙස විනාශ වී ගිය එක් ගම්මානයක්. එවරස්ට් කන්ද තරණය කළ පළමු ගමනට එක් වූ ‘ටෙන්සින් නෝර්ගේ’ ජීවත් වූයේ ද මෙම ගම්මානයේ වීම ද විශේෂත්වයක්.

    ඊට අමතරව තවත් වාර්තා රැසක් පිහිට වූ ශර්පාවරුන් බොහෝ ප්‍රමාණයක් මේ ගම්මානයේ ජීවත් වනවා. බලධාරීන් පවසන්නේ, එම ගම්මානය තවදුරටත් ජීවත් වීමට සුදුසු ද යන්න පිළිබඳව සිතා බැලිය යුතු බවයි. ගෝලීය උණුසුම ඉහළ යාම වැළැක්වීම සඳහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

    පිටපත - ධනුෂ්ක මැදවල 

    Latest News