පාර්ලිමේන්තුවේ ඩෙඟා නැටුවේ කවුද?

දෙසැ 13, 2023

    ‍‍‍‍‍ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට, අද බරපතල තර්ජනයක් එල්ල වුණා. ඒ, බාහිර පුද්ගලයන් දෙදෙනෙකු, පාර්ලිමේන්තු ගර්භයට කඩාවැදීමත් සමගයි.

    බාහිර පුද්ගලයන් දෙදෙනා, නවදිල්ලියේ ලෝක් සභා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මහජන ගැලරියේ සිට එකවරම සභා ගර්භය මැදට කඩාපැන තිබෙනවා. ඔවුන් වර්ණ ගැන්වූ දුම් විදිනයන් අතැතිව මන්ත්‍රීවරුන්ගේ මේස මත එහා මෙහා දිවගිය බව, සිද්ධිය දුටුවන් ප්‍රකාශ කරනවා.

    එම කලබලකාරී අවස්ථාව ආරක්‍ෂක කැමරාවලට මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ජංගම දුරකතන කැමරාවලට ද හසු වී තිබුණා. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වුණා. ඔවුන්ට සහය දක්වමින්, පාර්ලිමේන්තු ‍ගොඩනැගිල්ලේ පිවිසුම ආසන්නයේ සිට වර්ණ ගැන්වූ දුම් විදීමේ යෙදී සිටි පිරිමියෙකු සහ කාන්තාවක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම කණ්ඩායමේ අරමුණ කුමක්දැයි මේ දක්වා පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, මේ ක්‍රියාවලිය තුළින් අනාවරණය වී ඇත්තේ, ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ආරක්‍ෂක විධි විධානවල බරපතල අඩුපාඩු පවතින බවයි.

    2001 වසරේ අද වැනි දිනක ඉන්දීය පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. ඒ, කාශ්මීර සටන්කාමී කල්ලියක් විසින්. එම ප්‍රහාරයෙන් ආරක්‍ෂක භටයන් සහ ප්‍රහාරකයන් පස් දෙනා ඇතුළු 14 දෙනෙක් මරුමුවට පත්වුණා.

    Latest News