බඩගින්නයි මරණ බයයි

දෙසැ 10, 2023

    ගාසා තීරයේ අඛණ්ඩව සටන් පැවතීම හේතුවෙන් එහි ජනගහනයෙන් හරි අඩක  පිරිසක් දරුණු කුසගින්නෙන් පෙළෙන බව, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

    එහි මේ වන විට සිවිල් වැසියන් සඳහා කිසිදු ආරක්ෂිත ස්ථානයක් නොමැති  බව, ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

    ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර දරුණු සටන් අඛණ්ඩව පැවතීම නිසා ගාසා තීරය සඳහා අවශ්‍ය සැපයුම්වලින් මේ වන විට ලබා දිය හැකි වන්නේ කොටසක් පමණක් බව, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එහි සිවිල් වැසියන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුටම දෛනිකව සිය ආහාර වේල සපයා ගත නොහැකි තත්වයක් මේ වන විට උදා වී ඇති බවයි, ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

    මේ අතර, ඊශ්‍රායල හමුදාව පවසන්නේ, හමාස් සංවිධානය මුලින්උපුටා දැමීමට සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිය මවු භූමිය වෙත යළි රැගෙන ඒම සඳහා ගාසා තීරයට ගුවන් ප්‍රහාර අඛණ්ඩව එල්ල කළ යුතු බවයි. එහිදී, සිදු වන සිවිල් වැසියන්ගේ මරණ වේදනාකාරී නමුත්, වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි, ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ.

    දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරය මේ වන විට ඊශ්‍රායල යුද ටැංකි පෙරමුණු දෙකක් වටලා ඇති බව, එහි වැසියන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ, එම නගරයේ වත්මන් තත්වය ඉතා භයානක බවයි. ඛාන් යුනිස් නගරයේ නාසර් රෝහල් ප්‍රධානියා පවසන්නේ, දරුණු ගැටුම් නිසා සිය රෝහල වෙත ගෙන එන මළ සිරුරු සහ තුවාලකරුවන් සංඛ්‍යාව හේතුවෙන් රෝහල් ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇති බවයි.

    ඛාන් යුනිස් නගරය හමාස් ප්‍රධානීන් සැඟවී සිටින ස්ථානයක් බවට පත්ව ඇති බව, ඊශ්‍රායල් හමුදාව පවසනවා. එම නගරයේ හමාස් සංවිධානයට අයත් භූ ගත උමං ජාලයක් පිළිබඳව සැක පළ කරමින් ඊට ප්‍රහාර එල්ල කරන බවයි, එම හමුදාව සඳහන් කරන්නේ.

    Latest News