ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බෝනික්කෙක් වෙළෙඳපොළට

ජූනි 14, 2023

    මැටෙල් කෙළිබඩු සමාගම සිය නවතම නිෂ්පාදනය ලෙස ඩවුන් සින්ඩ්‍රෝමය සහිත බාර්බි බෝනික්කෙක් නිකුත් කර තිබෙනවා.

    සාම්ප්‍රදායික බාර්බි බෝනික්කන් සැබෑ කාන්තාවන් නිරූපණය නොකරන බවට, එක්සත් ජනපදයේ මෙම දැවැන්ත කෙළිබඩු නිෂ්පාදන සමාගම මීට පෙර විවේචනවලට ද මුහුණ දී තිබුණා.

    මෑත වසරවල දී එම සමාගම ශ්‍රවණාධාරයක්, කෘත්‍රිම පාදයක් සහ රෝද පුටුවක් සහිත බෝනික්කන් නිර්මාණය කර තිබුණු බවට බීබීසී වෙබ් අඩවිය වාර්තා කළා.

    මැටෙල් සමාගමේ ඉලක්කය වී ඇත්තේ "බාර්බි බෝනික්කන් තුළින් සියලුම දරුවන්ට තමන්ව දැකීම" මෙන්ම "තමන් මෙන් නොපෙනෙන බෝනික්කන් දරුවන් සමග සෙල්ලම් කරනු" දැකීමයි.

    "බ්‍රිතාන්‍ය නිරූපිකාවක වන එලී ගෝල්ඩ්ස්ටයින් මෙම නව බාර්බි බෝනික්කා දුටු විට තමා සතුටින් ඉපිලී ගිය බවට", විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    පුම්බන ලද අත් සහිත ඇඳුම ඩවුන් සින්ඩ්‍රෝම් පිළිබඳ දැනුවත් කිරීම හා සම්බන්ධ වර්ණ වන කහ සහ නිල් වර්ණවලින් යුක්ත වනවා.

    ඩවුන් සින්ඩ්‍රෝමය ආශ්‍රිත ලක්ෂණ ඇති කරන ජානමය ද්‍රව්‍යය වන 21 වන වර්ණදේහයේ පිටපත් තුන නියෝජනය කරන, ඉහළට හැරී ඇති 'V' හැඩැති සංකේතය සහිත රෝස පැහැති පෙන්ඩන්ට් එකක් ඇති මාලයක් ද මෙම බෝනික්කා සතුව තිබෙනවා.

    ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ඇතැම් දරුවන් ඔවුන්ගේ පාද සහ වළලුකර සඳහා අධාරක භාවිත කරන බැවින් මෙම බෝනික්කා ද ඒවා තම ඇඳුම මගින් පිළිබිඹු කිරීමට රෝස පැහැති වළලුකර ආධාරකයක් පැළඳ සිටිනවා.

    Latest News