පෞද්ගලික සමාගමක් සඳට යැවූ යානය අසාර්ථක වෙයි

අප්‍රේ 26, 2023

    සඳ මතට රොබෝ ගවේෂණ යානයක් ගොඩබැස්වීමට ලොව ප්‍රථම වරට පෞද්ගලික සමාගමක් ක්‍රියාත්මක කළ මෙහෙයුම අසාර්ථක වී තිබෙනවා.

    'හකූටෝ-ආර්' නමින් හැඳින්වෙන මෙම රොබෝ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවේ ජපානයේ අයිස්-ස්පේස් ජපාන පෞදගලික සමාගයි.

    'හකූටෝ-ආර්' මෙහෙයුම සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා අභ්‍යාවකාශ තරණය පිළිබඳ වෘත්තිකයින් සහ විද්‍යාඥයන් පිරිසක් 2008 වසරේදී එක් වුණා. ඉකුත් වසරේ දෙසැම්බර් මස 11 වැනිදා ෆැල්කන්-9 වර්ගයට අයත්, රොකට්ටුවක් මගින් මෙම ගවේෂණ යානය අභ්‍යවකාශ ගත කෙරුණා. මාස 5 කට පසු ඊයේ සඳ මත යානය ගොඩබැස්සීම සඳහා සූදානම් වන අවස්ථාවක යානය සමග තිබූ සන්නිවේදන සබඳතා බිඳවැටුනු බවයි අයිස් ස්පේස් සමාගම පවසන්නේ.

    අයිස් ස්පේස් සමාගමේ විධායක අධ්‍යක්ෂ තකේෂි හකමාදා පැවසුවේ, විනාඩි 25 ක කාලයක් යානයේ සන්නිවේදන බිඳ වැටීම හේතුවෙන් සඳමත ගවේෂණ මෙහෙයුම අසාර්ථක වූ බවට උපකල්පනය කිරීමට සිදු වූ බවයි. තම සමාගමේ ඉංජිනේරුවන් සන්නිවේදනය බිඳ වැටීම හා මෙහෙයුම අසාර්ථක වීමට හේතුව සෙවීමේ විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා. මීට පෙර සඳ ගවේෂණය සඳහා රොබෝවක් සඳමත තැබීමට සමත්වූ රටවල් වන්නේ අමෙරිකාව, රුසියාව සහ චීනය පමණයි. එම රටවල රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් එය, සිදුවූවක් බවයි වාර්තා වන්නේ. 'හකූටෝ-ආර්' මෙහෙයුම සාර්ථක වුවහොත්, එය ඉතිහාසගත වන්නේ, පෞද්ගලික සමාගමක් අනුග්‍රහය දැක්වූ ලොව පළමුවැනි චන්ද්‍ර ගවේෂණය ලෙසයි.

    Latest News