ඉන්දීය අගමැති සහ යු‍ක්රේන ජනාධිපති අතර, දුරකථන සංවාදයක්...

ඔක් 05, 2022

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යු‍ක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර, දුරකථන සංවාදයක් සිදුකර තිබෙනවා.

    දෙරටේ නායකයන් අතර එලෙස දුරකථන සංවාදයක් සිදු වූයේ, රුසියාව, යු‍ක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පළමු වරටයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එම දුරකථන සංවාදය, පැය දෙකක පමණ කාලයක් පැවැත්වුණු බවයි. රුසියා - යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දා සිට ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, ඉන්දීය රජය සැමවිටම කියා සිටියේ, අර්බුදය සාමකාමීව, සාකච්ඡා මාර්ගෙයන් විසඳා ගත යුතු බවයි.

    යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමග පැවති  දුරකථන සංවාදයේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මේ බව යළි අවධාරණය කර සිටියා. නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් පවතින කලාපවල න්‍යෂ්ටික බලාගාර ඇති අතර, ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් යුක්‍රේනයේ පමණක් නොව,  රුසියාවේ ද අවධානය යොමු විය යුතු බව, ඉන්දීය අග්‍රමාත්‍ය මෝදි, යුක්‍රේන ජනාධිපතිවරයාට පැහැදිලි කළා.  

    මේ වන විට බටහිර රටවලින් ආධාර ලෙස ලැබී ඇති අවි ආයුධවලින් සන්නද්ධ යුක්‍රේන හමුදා, රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටි පළාත් සහ නගර යළි මුදාගැනීමට සමත්ව සිටිනවා. පසුගිය දා ඩොන්බාස් පළාතේ, ලයිමාන් නගරය ද යළි අත්පත් කර ගැනීමට යුක්‍රේන හමුදා සමත්ව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    Latest News