ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට චීනයේ සහය...

සැප් 14, 2022

    ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් එරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා මානව හිමිකම් ප්‍රශ්න යොදාගැනීම පිළිබඳව විරෝධය පළකරන බව චීනය කියාසිටී.  

    ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත චෙන් ෂු (Chen Xu) තානාපතිවරයා මේ බව පැවසුවේ, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කෙරුණු, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව  පිළිබඳව 12 වැනිදා පැවති සංවාදයේ දී දේශනයක් පවත්වමිනි.  මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේ දී මෙන්ම  සංහිඳියාව, නැවත සංවර්ධනය සහ ත්‍රස්තවාදය මර්දනයේ දී ශ්‍රී ලංකාව දරන උත්සාහය චීනය අගය කරන බව  චෙන් ෂු මහතා මෙහිදී පැවසීය.  

    ශ්‍රී ලංකාවේ මිත්‍ර අසල්වැසියෙකු ලෙස චීනය,  ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීමට මෙන්ම සමාජ ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කරගැනීමට ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දක්වයි. කිසියම් රටක් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් භූ දේශපාලනික අභිමතාර්ථ ඉටුකරගැනීමට දරන උත්සාහයන්‍ට චීනය දැඩි විරෝධය පළකරන බව ද  චෙන් ෂු මහතා අවධාරණය කළේය.

    එසේම, මානව හිමිකම් ප්‍රශ්න යොදාගනිමින් දේශපාලන බලපෑම් එල්ලකිරීමේ සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ පුරුද්ද අත්හරින ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද චීන නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා පැවසීය.

     

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී විශේෂ වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට....

    Latest News