පකිස්තානයේ ගංවතුරින් පීඩාවට පත්වූවන්ට සහන...

අගෝ 28, 2022

    පකිස්ථානයේ අධික වර්ෂාව හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහනාධාර සැපයීම සඳහා එරට බලධාරින් ජාත්‍යන්තර ආධාර අපේක්ෂා කරනවා.

    ඔවුන් පෙන්වා දෙන්නේ ගංවතුර හේතුවෙන් මේ වන විට මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටින බවයි. පකිස්ථානයට ධාරාණිපාත වැසි පවතින්නේ ජුනි මාසයේ සිටයි. මේ වන විට දහසකට අධික පිරිසක් මියගොස් තිබෙනවා. ඉකුත් පැය 24ක කාලය තුළ පමණක් 45 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන් බවයි, වාර්තා වන්නේ. පකිස්ථාන රජය අවතැන් වූ පිරිස් වෙත කඩිනම් සහනාධාර සහ යටිතල පහසුකම් සැපයීමට පියවර ගෙන තිබෙනවා. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. අධික වර්ෂාවෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ සින්ද් ප්‍රදේශයයි. එහි දහස් ගණනකට නිවාස අහිමිවී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. රජය, රටතුළ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කළ අතර ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක ඒ සඳහා සිදු කිරිමට යෝජනා කළ සංවර්ධන ව්‍යා පෘති රැසක අරමුදල්ද විපතටපත් ජනතාව වෙනුවෙන් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

    ගංවතුරින් සිදුව ඇති දේපළ හානි මෙතෙක් තක්සේරු කර නැහැ. පවතින තත්වය හමුවේ බෝවන රෝග වැළදීමේ අවදානමක් ද පවතින බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙවර පවතින අධික වර්ෂාපතනය අසාමාන්‍ය තත්වයක් බව, පකිස්ථානයේ කාළගුණ විද්‍යා අංශ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාස මේ තත්වයට මුලික හේතුව බවයි.

    Latest News