යුරෝපා මහද්වීපයේ දැඩි නියඟයක්.... The Atlantic

යුරෝපා මහද්වීපයේ දැඩි නියඟයක්....

අගෝ 24, 2022

    යුරෝපා මහද්වීපයේ රටවලින් තුනෙන් දෙකක් දරුණු නියඟයකට මුහුණ  දෙමින් සිටින බව,  කාලගුණ විද්‍යාඥයන් පවසනවා.

    මෙවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ වසර 500 කට පමණ පසුව බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.   විද්‍යාඥයන් නිකුත් කළ වාර්තාවකට අනුව යුරෝපා මහද්වීපයෙන් 47% ක පස වියළී ගොස් තිබෙනවා. තවත් 17% ක ප්‍රමාණයක පස වගා කටයුතු සඳහා යෝග්‍ය නොවන තත්වයකට පත් වෙමින් තිබෙන  බවයි, වාර්තා වන්නේ. ගෝලීය නියඟ නිරීක්‍ෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් මේ පිළිබඳ අධ්‍යනය කළා.

    වියළි කාලගුණයත් සමග අසාමාන්‍ය ලෙස ලැව් ගිනි පැතිරෙමින් පවතින බවද, වාර්තා වනවා. ඉකුත් වසර 5 හා සසඳන විට බඩඉරිගු නිෂ්පාදනය 16% කින් ද, සෝයා බෝංචි නිෂ්පාදනය 15% කින් ද, සූර්යකාන්ත මල් නිෂ්පාදනය  12% කින් ද අඩු වී තිබෙනවා. චීනයද  දැඩි නියඟයකට මුහුණ දෙමින් සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.  ඒ අනුව, අවම වර්ෂා පතනය සහ දැඩි උෂ්ණත්වය නිසා එරට දිගම ගංඟාව වන "යැංසි"  ගඟ සිඳීයමින් පවතින බවද, මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

    ගංඟාවේ ජල මට්ටම පහළ යාම නිසා ජල විදුලි බලාගාරවල මෙහෙයුම් කටයුතු අඩපණ වී ඇති බවයි, වාර්තා වන්නේ. මේ නිසා විදුලිය ඉතිරි කර ගැනීමට කර්මාන්ත  ශාලා වසා තැබීම, වෙළඳසැල් විවෘතව පවතින කාලසීමාව අඩු කිරීම සහ කාර්යාල ගොඩනැගිලිවල වායුසමීකරණ  යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීම වැනි හදිසි ක්‍රියා මාර්ග ගැනීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා‍.

    Latest News