ලොව ප්‍රකට ඉන්දීය ගායක KK මියයයි

ජූනි 01, 2022

    සුපිරි ඉන්දීය ගායක ක්‍රිෂ්ණකුමාර් කින්නත් මියගොස් තිබෙනවා. මොහු ලෝක ප්‍රසිද්ධව සිටියේ කේ.කේ නමින්.

    ඉන්දියාවේ කොල්කටාහී නස්රුල් මංචා ශ්‍රවණාගාරයේ පැවති ප්‍රසංගයකින් අනතුරුව මොහු මියගොස් තිබෙනවා. ප්‍රසංගය අවසන් කර,යළි නවතැන් ගෙන සිටි හෝටලයට පැමිණි අවස්ථාවේ, එහි ඇදවැටී කේ.කේ මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 53ක්.

    කොල්කටා හී රෝහලට ඇතුළත් කරන විටත්, ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසනවා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙන බව විදෙස් වාර්තාවල සදහන්.

    1990 දශකයේ අගභාගයේදී යෞවනයන් අතර විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් ' පල් ' සහ ' යාරොන් ' වැනි ගීත තුළින් කේ.කේ ඉන්දීය රසික හදවත් වැළදගත්තා. "පල්" ඔහුගේ පළමු ගීත ඇල්බමයයි. එදා සිට අද දක්වා ස්වකීය රසෝත්පාදන,ලයාන්විතව හඬ පෞර්ෂයෙන් ඉන්දීය සිනමාපට රැසක් හැඩ කිරීමටද ඔහුට හැකිවුණා. කේ.කේ. හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත පටිගත කර තිබේ.

    "කුදා ජානේ , අකොමෙ තෙරී, තුහි මෙරි ෂබ හේ" වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කරනු ලැබ තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට දේශපාලන නායකයින්, නළු නිළියන් සහ සුවහසක් රසිකයින් කේ.කේ ගේ වියෝව වෙනුවෙන් ශෝකය පළකර කර තිබේ.

    Last modified on බදාදා, 01 ජූනි 2022 12:01

    Latest News