ආරක්‍ෂාවට තර්ජනයක් නම්, න්‍යෂ්ටික අවි භාවිත කරනවා; රුසියාව

මාර් 23, 2022

    යම් රටක් තම රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වුවහොත් එම තර්ජන මැඩපැවැත්වීම සඳහා න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සිදුවන බව, රුසියාව පවසනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රකාශය යුක්‍රේනයට සහයවන අමෙරිකාව සහ බටහිර රටල්වලට එල්ල කරන ලද අනතුරු ඇඟවීමක් බවයි. රුසියාවේ ආරක්ෂාවට කිසියම් රටක් දැඩි තර්ජනයක් එල්ල කළහොත් එය මැඩපැවැත්වීමට න්‍යෂ්ටික අවි භාවිත කිරීමට සිදුවන බව ක්‍රෙම්ලීනයේ මාධ්‍ය ප්‍රකාශකයකු වන දිමිත්‍රි පෙස්කොව් පවසා තිබෙනවා. ඔහු මේ බව සඳහන්කර ඇත්තේ, CNN මාධ්‍ය ජාලය සමග සාකච්ඡාවකට එක්වෙමින්. මීට ප්‍රතිචාර ලෙස අමෙරිකානු බලධාරින් පවසන්නේ, න්‍යෂ්ටික බලවතෙකුගේ වගකීම සහ හැසිරීම යම් තර්ජනයකදී න්‍යෂ්ටික අවිවලින් පිළිතුරු දීම නොවන බවයි.

    අවදානමට ලක්ව ඇති යුක්‍රේන සරණාගතයින් පිරිසක් එක්සත් ජනපදයට ගෙන්වා ගැනීමට ධවල මන්දිරය කටයුතු කරමින් සිටිනවා. යුක්‍රේන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඇති යුක්‍රේනියානු ජනතාව සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙම විශේෂ සරණාගතයන් පිරිසට අතුළත්. ධවල මන්දිරයේ තීරණය මේ සතියේ ප්‍රකාශයට පත්කරනු ඇතැයි,  අමෙරිකානු මාධ්‍ය වර්තාවල සඳහන්.

    රුසියාව මේ සතියේ විශාල යුද ක්‍රියාන්විතයන් සිදුකර නොමැති බව, ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසනවා. රුසියානු සන්නාහ සන්නද්ධ රථවලට අවශ්‍ය ඉන්ධන, පතොරම් හා යුධ උපකරණ නඩත්තු කටයුතු සඳහා සැපයුම් අඩාලවීම ඊට හේතුවී ඇති බවයි, සැලකෙන්නේ.

    යුක්‍රේන හමුදාව ක්‍රියාත්මක කරන ගරිල්ලා සටන් සහ ආරක්ෂාකාරී යුද උපාය මාර්ග රුසියානු පාබල හමුදාවන්ට දැඩි හානි සිදුකර තිබෙනවා. යුක්‍රේන බලධාරින් පවසන්නේ, මේ දක්වා රුසියානු සොල්දාදුවන් 12,000 ක් තම මෙහෙයුම්වලින් මියගොස් ඇති බවයි. රුසියානු ප්‍රහාරක ගුවන් යානා 49ක්, හෙලිකොප්ටර් යානා 81ක්, යුධ ටැංකි 335ක්, සන්නාහ සන්නද්ධ රථ 1,105ක්, කාලතුවක්කු 123ක්, රොකට් පද්ධති 56ක් සහ ගුවන් යානා නාශක පද්ධති 29 ක් විනාශ වී ඇති බව, ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වුවද රුසියානු බලධාරින් හෝ ජාත්‍යන්තර යුද නිරීක්ෂකයින් හෝ මෙම වාර්තා තහවුරු කර නැහැ.

    යුද ගැටුම් ඇවිලෙන වරාය නගරයක් වන මරියුපෝල් නගරයේ තවමත් සිවිල් වැසියන් 100,000කට අධික පිරිසක් පිටවයාමට නොහැකිව සිරවී සිටින බව, යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, සෑම දිසාවකින්ම රුසියානු හමුදා විසින් වටකරනු ලැබ ඇති මෙම නගරයට මානුෂීය ආධාර රැගෙන යාමට විශාල බාධාවන් මතුව ඇති බවයි. මානුෂීය ආධාර රැගත් බස්රථ සහ ට්‍රක් රථ රුසියානු හමුදා භාරයට ගෙන ඇති බවට, ජනාධිපතිවරයා චෝදනා කරනවා. මරියුපෝල් නගරයට නිරන්තරයෙන් ශෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ලවෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මරියපෝල් නගරය මුළුමණින්ම විනාශ වී ඇති බවයි. සිරවී සිටින සිවිල් වැසියන්ට ආහාර, ඖෂධ සහ විදුලිය නොමැතිවීමෙන් ඔවුන් දැඩි අසීරුතාවයන්ට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 23 මාර්තු 2022 20:02

    Latest News