ඉන්දීය ගුවන් නියමුවාට නිදහස

පෙබ 28, 2019

    පකිස්තාන ආරක්‍ෂක අංශ ග්‍රහණයේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තීරණය කර තිබේ.

    වින්ග් කමාන්ඩර් අභිනන්දන්, අත්අඩංගුවට පත්වූයේ, ඉන්දීය ජෙට් යානය පකිස්තාන ආරක්‍ෂක හමුදා ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවයි. ඒ කාශ්මීරය පදනම් කරගනිමින් ඉන්දියාව හා පකිස්තානය අතර ගොඩනැඟුණු යුද උණුසුමේ ප්‍රතිඵලයක් ලෙසයි.

    වර්ග කිලෝමීටර දෙලක්‍ෂ විසිපන්දහසක විශාලත්වයෙන් යුත් කාශ්මීරය, ඉන්දියාව හා පකිස්තානය අතර පිහිටි කඳුකර ප්‍රදේශයක්. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ඉන්දියාව හා පකිස්තානය ලෙස රාජ්‍යයන් දෙකක් බිහිවෙද්දී ස්වාධීනව පැවැතීමට කාශ්මීරය උත්සාහ කළේය. එහි ප්‍රතිඵලයක් වූයේ වරින්වර එම ප්‍රදේශය යුද ගැටුම්වලට ලක්වීමයි.

    අවස්ථා කිහිපයකදී ඉන්දියාවේ සහ පකිස්තානයේ පාලනයන්ට යටත් වූ කාශ්මීරය, කොටස් වශයෙන් දෙරටට බෙදී වෙන්වූයේ 1972 සිම්ලා ගිවිසුමට අනුවයි. ඒ අනුව කාශ්මීරයෙන් 45%ක් ඉන්දියාවටත්, 35%ක් පකිස්තානයටත්, අයිතිවූ අතර සෙසු 20% අයිතිය ලැබුණේ චීනයටයි. ගිවිසුමෙන් පසුවද කාශ්මීර දේශසීමාව හරහා වරින්වර දෙරට අතර ගැටුම් හට ගත්තේය.

    ඉන්දියාව විසින් පකිස්තානයටත්, පකිස්තානය විසින් ඉන්දියාවටත් වරින්වර චෝදනා කළේ, අන්තවාදී කණ්ඩායම් පාලනය කළ යුතු බව පවසමින්. පසුගිය 14 වැනිදා ඉන්දීය ආරක්‍ෂක භටයින් රැගත් බස් රථයක් මරාගෙන-මැරෙන ප්‍රහාරයකට ලක්වීම වත්මන් උණුසුම්කාරී ත්ත්වයට බලපෑ ආසන්නතම හේතුවයි. ඉන්දීය ප්‍රහාරක යානා මගින් පසුදින පකිස්තාන දේශසීමාවේ ස්ථාන කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන්දීය ජෙට් යානා දෙකක් පකිස්තාන ප්‍රහාරයකට ගොඳුරු වූයේ ඉන් අනතුරුවයි.

    Latest News