ඉන්දියාව මාස 19 කට පසු සංචාරකයින් සඳහා විවෘත කෙරේ...

ඔක් 16, 2021

    මාස 19 කට පසු විදෙස් සංචාරකයින් සඳහා සිය දේශ සීමා යළි විවෘත කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

    උත්සව සමයට සමගාමීව විදෙස් සංචාරකයින් සඳහා මෙතෙක් පනවා තිබූ සීමා ලිහිල් කිරීමේ පළමු අදියර ලෙස කොරෝනා මර්දන පූර්ණ එන්නත්කරණයට ලක්වූ, වරලත් ගුවන් යානා මගින් පැමිණෙන විදෙස් සංචාරකයින් හට ඊයේ දින සිට එරටට ඇතුළුවීම සඳහා අවසර හිමිවුණා.  නිත්‍ය ගුවන් සේවා ඔස්සේ පැමිණෙන විදෙස් සංචාරකයින් හට එළඹෙන නොවැම්බර් මස 15 වැනිදා සිට ඉන්දියාවට ඇතුළුවීමට අවසර හිමිවන බවයි, ඉන්දීය බලධාරින් පවසන්නේ.

    ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය මැඩලීම් අරමුණින් ඉකුත් වසරේ මාර්තු මාසයෙන් පසු විදෙස් සංචාරකයින් හට එරටට ඇතුළුවීම සඳහා අවසර ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙයයි. කෙසේ වෙතත්, රටට ඇතුළුවීමේදී එම සංචාරකයින් පැය 72 ක කාලයක් තුළදී ලබාගත් කොවිඩ් පරික්ෂණයකින් වෛරසය ආසාදනය නොබූ බවට තහවුරු කළ යුතු වනවා.

    මේ අතර, ඉන්දීය බලධාරින් සඳහන් කරන්නේ, එරට වැඩිහිටි ජනගහනයෙන් 70%කට ආසන්න පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ මේ වන විට ලබාදී ඇති බවයි. ඉකුත් පැය 24 තුළදී එරටින් නව ආසාදිතයින් 16,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගැනුනා. එම කාලසීමාවේදී එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 163 ක්.

    Latest News