මෙල්බන් නගරය ආශ්‍රිතව භූ කම්පනයක්

සැප් 22, 2021

    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ අද උදේ භූකම්පනයක් සිදුව තිබේ. එය රිච්ටර් මාපකයේ සටහන්ව ඇත්තේ, ඒකක 5.8ක් ලෙසයි.

    මෙල්බන් නුවර ගොඩනැගිලි කිහිපයකට ද හානි සිදුව ඇත. වසර 200ක පමණ එරට ඉතිහාසය තුළ සිදුවූ ප්‍රබලම භූකම්පන තත්වය මෙය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙල්බන් නුවරට නැගෙනහිරින් පිහිටි මැන්ස්ෆීල්ඩ් නගරය භූ කම්පනයේ අපකේන්ද්‍රය ලෙසට හඳුනාගැනිණ.

    එරට වේලාවෙන් උදේ 9.15ට පමණ භූ කම්පනය සිදුව තිබේ. එහි ප්‍රබලත්වය පළමුව රිච්ටර් මාපකයේ ඒකක 6ක් ලෙස සටහන්ව තිබුණ ද පසුව එය ඒකක 5.8ක් ලෙස පෙන්නුම් කළ බව එරට භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූ කම්පනය තත්පර 30ක පමණ කාලයක් පැවති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

    පළමු භූකම්පනයෙන් පසු පිළිවෙළින් රිච්ටර් මාපාංක 4.0 සහ 3.1 ලෙස පසුභූකම්පන දෙකක් ද හට ගැනිණ. කැන්බරා,දකුණු ඔස්ට්‍රේලියා,තස්මේනියා,නිව් සවුත්වේල්ස් සහ සිඩ්නි ඇතුළු ප්‍රදේශ ගණනාවකට මින් බලපෑම් එල්ල වී තිබේ.

    එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ මෙය ඔස්ට්‍රේලියානුවන්ට ඉතා අහඹු අත්දැකීමක් වන අතර කිසිඳු ජීවිත හානියක් සිදු නොවීම සතුටට කරුණක් බවයි.
    භූ කම්පනය සිදු වන අවස්ථාවේ එරට මාධ්‍ය ආයතනයක සජීව වැඩසටහනක දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

    Last modified on බදාදා, 22 සැප්තැම්බර් 2021 13:18

    Latest News