එන්නත් ලබාගත්තත් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අත්‍යවශයයි.

අගෝ 22, 2021



    කුමන හෝ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නතක සම්පූර්ණ මාත්‍රා ලබාගත් පුද්ගලයන්ට වුවද ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව,  නවතම බ්‍රිතාන්‍ය අධ්‍යයනයකින් හෙළි වී ඇත. 

    එබැවින් එන්නත්කරණයෙන් නොනැවතී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥයින් පවසති. බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඇත. ගෝලීය වශයෙන් ඉහළ බලපෑමක් එල්ල කර ඇති ප්‍රධානතම වෛරස් ප්‍රභේදය වන්නේද මෙයයි. දැනට ලොව පවතින කොරෝනා මර්දන එන්නත් එම ප්‍රභේදයට එරෙහිව කොපමණ ඵලදායීතාවක් පෙන්නුම් කරන්නේ ද යන්න පිළිබඳව විශේෂඥයින්ගේ අවධානයට ලක්වී ඇත.

    ඩෙල්ටා ප්‍රභේදය සහ ඉන් හටගෙන ඇති අනෙකුත් විකෘති ප්‍රභේදන් පාලනයට එන්නත්කරණයෙන් ලැබෙන ප්‍රතිශක්තීකරණය මෙන්ම අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම අත්‍යවශ්‍ය බවයි මින් නිගමනය කර ඇත්තේ. මෙහිදී මුව ආවරණ නිසි ලෙස පැළඳීම සහ විෂබීජානුහරණ දියර භාවිතය මූලික වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ තවත් මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වේ. අදාළ පර්යේෂණ කණ්ඩායමට සම්බන්ධ වන ලෙසයි එම සංවිධානය ගෝලීය සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් ඉල්ලාසිටින්නේ.

    එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෛරසයේ මූලාරම්භය නිශ්චිතව හඳුනාගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්වාධීන විශ්ලේෂණයක් සඳහා අවස්ථාව ලබාදෙන බවයි.  එළඹෙන සැප්තැම්බර් 10 වැනිදා වන විට සෞඛ්‍ය විශේෂඥයින් 25 දෙනෙකු තෝරාගන්නා බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. ඉකුත් මාර්තු මාසයේ එම සංවිධානය සිදුකළ පළමු විමර්ශනය මගින් නිගමනය කෙරුණේ, වෛරසය චීනයේ වූහාන් හි රසායනාගාරයකින් හටගත් බවට සාක්ෂි නොපවතින බවයි.

    Latest News