අමෙරිකාවේ අවුරුදු 50 ට අඩු කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක්

අගෝ 21, 2021

    අමෙරිකාවේ වයස අවුරුදු 50 ට අඩු කොරෝනා රෝගීන් රෝහල්ගත කිරීම වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත.

    එරට කොරෝනා වෛරසය ආරම්භ වූ අවස්ථාවේ සිට මෙම වයස් කාණ්ඩයේ ඉහළම රෝහල්ගත වීම මේ වන විට වාර්තා වී ඇති බවයි,  නවතම අමෙරිකානු රාජ්‍ය දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. 

    වයස අවුරුදු 18 ත් 30 ත් අතර වැඩි පිිරිසක් රෝහල්ගතවී ඇති බවට වාර්තා වන අතර,  මෙම රෝහල් ගතවීම් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ නිසි පරිදි එන්නත්කරණය සිදුනොවූ ප්‍රාන්තවලින් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    එරට ජනතාවගෙන් 50% වැඩි ප්‍රමාණයක් මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණය වී ඇත. 70% වැඩි ප්‍රමාණයක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවට  වාර්තා වී ඇත.

    ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම මෙම රෝගීන් ඉහළ යාමට තවත් එක් හේතුවක් වී ඇත. පසුගිය සතිය වන විට අමෙරිකාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 75,000 ඉක්මවා ඇත. ලබන මාසයේ නිව්යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් පැමිණීම හැකිතරම් අවම කරන ලෙස අමෙරිකානු රජය ඉල්ලා සිටී. මහා මණ්ඩල සැසිවාරය ඇමතීම හැකිතරම් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලෙසට එරට රජය සාමාජික රටවලින් ඉල්ලා ඇත.

    Latest News