ඉරානය; කොරෝනා පස්වැනි රැල්ලක් අභියස.......

ජූලි 04, 2021

    ඉරානය කොරෝනා වෛරසයේ පස්වැනි රැල්ලක් අභියසට පැමිණ තිබේ.

    ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම ඊට හේතුව බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඩෙල්ටා ප්‍රභේදය අමෙරිකාව තුළ ව්‍යාප්තවීමට එහි ඇතැම් ප්‍රදේශයන්හි එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා හේතු වී ඇති බව එරට බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුච් පෙන්වා දෙයි.

    ඉරානයේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට තිස් දෙලක්‍ෂ 41,000 ඉක්මවා ගොසින්. ඉකුත් පැය 24 තුළ එරටින් 8,000කට අධික නව ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගනු ලැබීය.

    වෛරසය බලපෑමෙන් රට තුළ මෙතෙක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 84,627ක්. මේ වනවිට කොරෝනා වෛරසයේ සිව්වන රැල්ල දැඩි බලපෑමකට ලක්ව ඇති ඉරානය එහි පස්වන රැල්ලක අවදානමට මුහුණ පා ඇත්තේ, එන්නත්කරණ වැඩපිළිවෙළේ ද පවතින මන්දගාමී භාවය නිසයි.

    අමෙරිකානු සම්බාධක නිසා එරට එන්නත්කරණයට බාධා එල්ල වී තිබේ. ජනාධිපති හසන් රුහානි පවසන්නේ, ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකිරීම රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළයාමට බලපා ඇති බවයි.

    වෛරසයෙන් මැද පෙරදිග කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉරානයේ ටෙහෙරාන් ඇතුළු නගර 91ක් අධි අවදානම් රතු කලාප ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

    Latest News