ගාසා ගැටුම් අවසන් කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයන්තයත් අසාර්ථකයි

මැයි 19, 2021

    සටන් විරාමයක් සඳහා ජාත්‍යන්තර බලපෑම් එල්ල වුවද ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර ඊයේ දිනයේත් ගැටුම් හටගෙන තිබේ.

    ඒ අනූව, දෙපාර්ශවය අතර ගැටුම් පවතින්නේ අඛණ්ඩව නව වැනි දිනටයි. පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් දෙදෙනෙක් මිය ගියේය.

    ඊශ්‍රායලය ද පලස්තීන සටන්කාමීන් ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි, වාර්තා වන්නේ. ඒ අනූව ගාසා තීරයේ පවතින ගැටුම් අවසන් කිරීම සඳහා සිදු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සටන් විරාමයක් ඉල්ලමින් ප්‍රංශය, ඊජිප්තුව සහ ජෝර්දානය එක්ව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු සමග සිදුකළ දුරකථන සංවාදයේ දී ද ඊශ්‍රායල සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයකට සහාය පළ කළේය. කෙසේ වුවද, දෙපාර්ශවය අතර ඊයේ දිනයේත් යළි ගැටුම් ඇතිවීම හේතුවෙන් සටන් විරාමයක් සඳහා පවතින අවස්ථා ඇහිරී ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ඉකුත් 10 වැනිදා සිට පවතින ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 218කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස 1500කට අධිකයි. මේ වන විට ඊශ්‍රායලයේ පුද්ගලයින් 12 දෙනෙක් පමණ ගැටුම් හේතුවෙන් මියගොස් ඇත්තේ, තවත් 300කට පමණ බරපතල තුවාල සිදුකරමින්.

    මේ අතර බටහිර ඉවුරේ රමාල්ලා නගරයේ විරෝධතා අතරතුර ඊශ්‍රායල පොලීසිය පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මේ වන විට හමාස් සංවිධානයේ පසුබෑමක් පෙන්නුම් කරන බවයි.

    Last modified on බදාදා, 19 මැයි 2021 09:48

    Latest News